ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිස්බුල්ලා සහ අසාත් සාලි ඉල්ලා අස්වීමෙන් පසුව අතුරලියේ රතන හිමියෝ උපවාසය අවසන් කරති
අතුරලියේ රතන හිමියන් සිය උපවාසය අවසන් කර තිබේ.
එහිමියන් උපවාසය අත්හැර තිබෙන්නේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.
ඔවුන් ඉල්ලා අස් වූ බව මධ්‍යම පළාතේ ආණ්ඩුකාර, නීතිඥ මෛත්‍රී ගුණරත්න එහිමියන්ට දැනුම් දී තිබේ.
ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, "අද දින රතන හිමියන්ගේ උපවාසය නතර කරන්න ජනාධිපති තුමා මට කතා කරලා අසාත් සාලි ආණ්ඩුකාර තුමා සහ හිස්බුල්ලා ආණ්ඩුකාර තුමා ඉල්ලා අස් වෙච්ච බවට මට දැනුම් දීමක් කළා. ඒ දැනුම් දීම අනුව මම රතන ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා මුළු සංඝ සභාවට දැනුම් දුන්නා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා, ඒ නිසා උපවාසය නවත්තලා සාමාන්‍ය ජීවිතයට එන්න කියලා," යනුවෙන් කියා සිටියේය.
"ඒක කරලා ඉවර වුණාට පස්සේ මගෙන් ඉල්ලුවා නිවේදනයක් ලබා දෙන්න පුළුවන් ද කියලා. ඊට පස්සේ මම එවේලේ ම ජනාධිපති තුමාට කතා කරලා ෆැක්ස් පණිවිඩයක් ගෙනාවා. ඒ නිවේදනය අනුව රතන හාමුදුරුවො තීරණය කළා ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම නවත්වලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඉදිරි වැඩ කරගෙන යන්න."
ඒ අනුව උපවාසය අත්හළ අතුරලියේ රතන හිමියන් මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
අසාත් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් පදවිවලින් ඉවත් කළ යුතු බවට ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර දළදා මාලිගාව ඉදිරිපස දින 4ක් මුළුල්ලේ උපවාසයක නිරතව සිටියහ.
එහිමියන්ට සහය පළ කිරීම සඳහා විශාල පිරිසක් මහනුවරට රැස් වී සිටියහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ රජය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැතත්, ඉරිදා (ජුනි 02) රාත්‍රියේ ජනාධිපතිවරයා ඔවුන් තිදෙනාම වෙන වෙනම මුණගැසී සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.
අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා අතර අතුරලියේ රතන හිමියෝ ද වූහ.
බස් වර්ජනයක්
මේ අතර, පූජ්‍ය රතන හිමියන්ට සහය පළ කිරීම සඳහා ප්‍රදේශ කිහිපයක පෞද්ගලික බස් රථ හිමියෝ වර්ජන ආරම්භ කර තිබුණි.
කළුතර සහ අලුත්ගම සිට ආරම්භ වන පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර, ඒ හේතුවෙන් උදෑසන කාර්යාල වෙත යාම සඳහා පැමිණි විශාල පිරිසක් අපහසුතාවට පත්වූ බව කළුතර ප්‍රදේශයේ කිහිප දෙනෙක් බීබීසී සිංහල සේවයට පැවසූහ.
උපවාසයට සහය දීමට තවත් උපවාස
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු උපවාස ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම් ඒ එල් එම් හිස්බුල්ලා යන අය ඔවුන් දරන තනතුරුවලින් නෙරපන ලෙසට බල කරමින් පූජ්‍ය අතුරලිය රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහයෝගය පළ කරමින් වවුනියාවේ වැසියෙකු සඳුදා (ජූනි 03) වවුනියාව නව බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඉදිරිපස උපවාසයක් ආරම්භ කළේය.
එලෙස උපවාසයක් ආරම්භ කළේ, වවුනියාව වෙලිකුලම ප්‍රදේශයේ පදිංචි දේවරාසා ගෝපාලසිංහම් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර අතුරලියේ රතන හිමියන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන ලෙස දන්වමින් සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව වල මහ නායක හිමිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබුණි.
"මීට පෙර වාචිකව කරන ලද ඉල්ලීම් මෙතෙක් ඉටුවී නොමැති බව පෙනී යන බැවින් මෙම ලිපිය ඔබ තුමා වෙත යොමු කිරීමට අදහස් කළෙමු," යනුවෙන් සිය ලිපියේ සඳහන් කරන මහ නාහිමිවරු, අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ "විනිවිදභාවයෙන් හා කඩිනමින්" පවත්වා වරදකරුවන්ට දඬුවම් දීමට ක්‍රියාකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලෙන්දරන් ජූනි 01 වන දා සිය උපවාසය ආරම්භ කළේ, අමාත්‍ය රිෂාඞ් බදියුද්දීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ධූරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමිනි.
එම උපවාසයට සහය පළ කරමින් ඉරිදා (ජූනි 02) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ දෙනමක් ද ඊට එක් වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය දෙමින් දෙමළ ජාතිකයෙකු ත්‍රිකුණාමලය, සිවන් කෝවිල ඉදිරිපිට ඉරිදා (ජූනි 02) තවත් සත්‍යග්‍රහයක් ආරම්භ වී තිබේ.
කටුවාපිටියේ පිරිසක් රතන හිමිගේ සහයට
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව, කටුවාපිටිය ප්‍රදේශයේ පිරිසක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය දැක්වීම සඳහා මහනුවරට ගොස් සිටිති.
ඔවුන් ගමන් කළ බස් රථයේ ප්‍රදර්ශනය කර තිබූ පුවරුවක සඳහන් වූයේ, "හිමියනේ, ඔබ වහන්සේ තනි නැත. සහයට අප ද ඇත," යනුවෙනි.
මේ අතර, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද මහනුවරට ගොස් රතන හිමියන් හමුවී සුව දුක් විමසා බැලූහ.
කාදිනල් හිමියන් එහිදී පැවසුවේ, "දැන් ඇතැම් නිලධාරීන් පස්සේ යාමේ ප්‍රවණතාවක් පටන් අරන් තියෙනවා. පොලිස්පති තුමා, ලේකම් තුමා, ඒ වුණාට මේවා පිටිපස්සේ සංස්කෘතිය, ආගම් මතවල තියෙන සුහදතාව පළුදු කරන ඒ සැකය, බිය ඉස්ලාම් ජාතිකයින් අතර ඇති කරන්න ඒකට අනුබල දීලා ඒවා ඉස්මතු වෙන්නට ඉඩ දීලා මේ ප්‍රහාරයට වක්‍රව සහභාගි වෙච්ච අය කවුද ඉන්නේ කියන එක තාම විග්‍රහයක් කරලා නෑ. ඒ ගැන පරීක්ෂණ පවත්වලා නැහැ. ඒ නිසා මේක පිටිපස්සේ ඉන්න අය ගැන ඉතාමත් ම විශේෂයෙන් සෙවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වාතාවරණය තුළ තමයි අපේ මේ හාමුදුරුවෝ ඇතැම් පුද්ගලයන් තමන්ගේ තනතුරු නොමනා විදියට පාවිච්චි කරමින් මේ වගේ වැඩවලට සහය දුන්නා කියන එක ගැන යම්කිසි කරුණු පදනම් කරගෙන තමයි ඒ අයට අයින් වෙන්න කියලා කියන්නේ," යනුවෙනි.
සඳුදා (ජූනි 03) දහවල් ට්විටර් පණිවුඩයක් පළ කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර තිබුණේ, "කාදිනල් තුමන් රතන හිමියන් බැහැ දැකීම වෛරයේ ගිනි දැල්වලට පවන් සැලීමක්," බවය.
ඇමති පාඨලී චම්පික රණවක
ඉරිදා දිනයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහනුවරට ගොස් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමු විය. ඔහු සිය නිල ෆේස්බුක් පිටුවෙහි දක්වා ඇත්තේ, මහනුවරට යාමට පෙර උපවාසය ආරම්භ කිරීමට බලපා ඇති කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡා කළ බවය.
රතන හිමියන්ගේ උපවාසයට සහය දැක්වීම උදෙසා ප්‍රචන්ඩත්වයට යොමුවෙමීන් වැලකී සාමකාමීව හැසිරෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබුණි.
තවත් කියවන්න: