"මම හැම තැනම තාත්තව හෙව්වා"

"වෙන්න තියන දේ ඔක්කොම වෙලා ඉවරයි. තව කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තියනව ද?"

මේ, දහසය හැවිරිදි දරුවෙකුගේ මුවින් පිටවූ වදන් පෙළකි. ඔහු ජීවත් වන්නේ මීගමුව කටුවාපිටිය ග්‍රාමයේය.

ඔහුගේ බාල සොයුරු දොළොස් හැවිරිදිය. වැඩිමල් සොයුරියක් ද සිටී.

"අයියා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. ඒ නිසා ආච්චි බල කරලා තමයි අයියව ඉස්කෝලේ යැව්වේ," මද්දුමයාගේ පාසල් ගමන ගැන බාල සොයුරා දොඩමළු විය.

"අපේ ඉස්කෝලේ තාම පටන් ගත්තේ නැහැ. ඉක්මනට පටන් ගන්නවා නම් හොදයි," ඔහු අවසන් වචන ටික මිමිනුවේ ඉතා සෙමිනි. මේ පුංචි දරුවාට නිවසේ සිටීම එපා වී ඇති සෙයකි.

මේ දරුවන්ගේ මුවින් වදනක් පිටවන්නේ ඉඳහිටය. යමක් විමසූ විට මඳ වෙලාවක් බිම බලාගෙන නිහඬව සිටිති. නමුත් තෙත් වූ දෙනෙත් දහසකුත් දේ පවසයි.

ඔවුන්ගේ අසරණකම හා තනිකම වචනවලට පෙරැළිය නොහැක.

"අපේ අම්මයි තාත්තයි දෙන්නම නැහැනේ..."

මේ දරුවන්ගේ පියා මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විය. ඔහු ප්‍රජා කටයුතුවලට ක්‍රියාශීලීව දායක වූවෙකි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූයේ මේ දරු තිදෙනාගේ පියා පමණක් නොවේ; මව ද මෙලොව හැර ගියාය.

දරු තිදෙනා තනි වූහ.

"අපේ අම්මයි තාත්තයි දෙන්න ම නැහැ නේ... අම්මා ඉන්න පවුලක් ඉන්නවා මේ ඉස්සරහ, එහෙ අය නම් කතා කරයි. මම ගේ පෙන්නන්න ද?" මද්දුමයා මග පෙන්වූයේ සිය මිතුරාගේ පියා වූ සුදීර ප්‍රනාන්දුගේ නිවසටය.

"මම හැම තැනම තාත්තව හෙව්වා"

නිවසේ දොර වසා තිබිණි. සීනුව නාද කළ විට ඉතා සෙමින් ජනේලයක් විවර විය. ජනෙල් රෙද්ද අතරින් එබිකම් කළේ පිරිමි දරුවෙකි.

ගීතා ඇන්ටනට්, සුදීරගේ බිරිඳය. ඇය දෙපස දරුවන් තිදෙනෙකු විය.

"දරුවෙකුට ආහාරවලට ඇඳුම්වලට වඩා දෙමාපියෝ අත්‍යවශ්‍යයි. දෙමාපියෝ දෙන්නා අහිමි වෙනවා කියන්නේ ඒ දරුවන්ගේ අනාගතේ මුළුමනින් ම විනාශයි. මටත් තුවාල වුණා. මගේ දරුවන්ගේ චූටි හරි වාසනාවකට මම බේරුණා," ගීතා කීවාය.

පවුලේ සියලු දෙනා ඉතා සතුටින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගියේ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වීමටය.

සුදීර සහ ගීතා එක ළඟ අසුන් ගත්හ. මඳ වේලාවකින් බෝම්බය පුපුරා ගියේය. සුදීර, ගීතාගේ පාමුල ඇද වැටිණි.

ඔහු සිය බිරිඳ සහ දරු තිදෙනා තනි කර මෙලොවින් සමු ගත්තේය. සුදීරගේ හිසට බරපතළ හානි සිදුවී තිබිණි.

සුදීරගේ හා ගීතාගේ පවුලේ බඩපිස්සී ෆියෝනාය. සුදීරගේ වියෝව තදබල ලෙස දැනී ඇත්තේ දස හැවිරිදි ඇයටය.

"තාත්තා ඇදගෙන වැටුණා"

"බෝම්බය පුපුරද්දී මම තාත්තා ළඟ හිටියේ නැහැ. මම හිටියේ ගීතිකා කණ්ඩායමේ. ලොකු සද්දයක් ආවා. ඊට පස්සේ මම හැම තැන ම තාත්තව හෙව්වා. මාමා කෙනෙක් කිව්වා තාත්තට පොඩි තුවාලයක් වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චා කියලා. ගෙදර ආව ම තමයි දැන ගත්තේ තාත්තා..." ෆියෝනාගේ දෙනෙත තෙත් විය.

පවුලේ වැඩිමල් දරුවා පහළොස් හැවිරිදි සුදත්ය.

"අපි පස් දෙනා ම එකට තමයි පල්ලි ගියේ. හැබැයි පල්ලිය ඇතුළේ අපි හිටියේ වෙන වෙන ම. අම්මයි තාත්තයි එකට හිටියේ. මම යාළුවෙක් එක්ක ටිකක් පස්සට වෙන්න හිටියා. බෝම්බය පුපුරපු ගමන් තාත්තා ඇදගෙන වැටුණා."

"මම කියන්නේ අපි තුන් දෙනාට වුණා වගේ දෙයක් මේ ලෝකේ කිසි ම දරුවෙකුට වෙන්න එපා කියලයි," සුදත් මෙන් ම ෆියෝනාගේ ද ප්‍රාර්ථනය වූයේ එයයි.

මේ පවුලේ දෙවැනියා වූ එලිෂාට ද කීමට යමක් ඉතිරි වී තිබිණි.

"අපිට අම්මව හරි ඉතුරු වුණා. ඒ හින්දා අපි කතා කරනවා. අම්මයි තාත්තයි දෙන්න ම නැති ළමයි කී දෙනෙක් ඉන්නව ද? ඒ අයව බලා ගන්නේ කවුද?"

"තාත්තට ගහලා, කපලා, කටට තිනර් වක්කරලා"

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ දේවස්ථාන හා දේපොළ මේ වන විට අලුත්වැඩියා වෙමින් පවතී. ඉතා කඩිනමින් එම කටයුතු සිදුවේ.

නමුත් දරුවන්ගේ බිඳුණු සිත් සුවපත් කිරීම එතරම් පහසු නැත. දෙමව්පියන්ගේ අඩුව කිසි දා පිරවිය නොහැකි වනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති තුනකට පසුව රටේ ස්ථාන කිහිපයක කලහකාරී වාතාවරණයක් ඉස්මතු විය.

එම සිදුවීම්වලින් ද කුඩා දරුවන් සිව් දෙනෙකුට සිය පියා අහිමි විය.

නාත්තන්ඩිය මැද කොට්ටරාමුල්ල ග්‍රාමයේ ජිවත් වූ ෆවුසල් අමීර් පසුගිය 13 වන දා රාත්‍රියේ ප්‍රහාරයකට ලක් වී මිය ගියේය.

ඔහුගේ පහළොස් හැවිරිදි පුත්‍රයා, සිය පියා ඝාතනය වූ ආකාරය විස්තර කළේ හැඬූ කඳුළිනි.

"අපි ගේ ඇතුළේ හිටියේ. වටින් පිටින් ශබ්දය එද්දී තාත්තා අපිව ගේ ඇතුළේ තියලා එළියට ආවා. සද්දේ අඩු වුණා ම අපි එළියට ඇවිල්ලා බලද්දී තමයි දැක්කේ තාත්තා එළියේ වැටිලා ඉන්නවා."

"තාත්තට ගහලා, කපලා, කටට තිනර් වක් කරලා ගිහින් තියෙන්නේ... අපේ තාත්තා මොන වරදක් කළාට ද මෙහෙම කළේ?"

මීගමුවේ බෝබ්බ සිදුවීමට අපිත් දුක් වුණා. අපිත් පහන් පත්තු කළා. එහෙම කරපු අපිට බොරුවට දඬුවම් දුන්නා. ආයේ මේ වගේ දුකක් සිංහල, මුස්ලිම් හෝ දෙමළ කිසි දරුවෙකුට අත් වෙන්න එපා." අජ්මාල් ප්‍රකාශ කළේය.

'කරිටාස්' ආයතනය මේ වන විට කටුවාපිටිය ප්‍රදේශයේ නිවාස වෙත ගොස් මනෝ උපදේශන සේවා සපයමින් සිටී.

මීට ස්වේච්ඡාවෙන් දායක වී සිටි මනෝ උපදේශිකා ෂයිනි පූර්නිමා විතානගේ කියා සිටියේ පසුගිය සිදුවීම් මාලාවෙන් බොහෝ ලෙසින් අසරණ වී ඇත්තේ කුඩා දරුවන් බවය.

"අද වන විට මේ කුඩා දරුවන් රෑට නින්දෙන් බය වෙන තත්ත්වයක් තියනවා . ඒ අයගේ අධ්‍යාපනය ආරම්භ කරන්න තව ම හැකි වෙලා නැහැ . ඒ වගේ ම ඒ අය සමාජය ඉදිරියට එන්න බයයි. බොහෝ විට උත්සහ කරන්නේ ගෙයි මුල්ලකට වෙලා සැඟවිලා ඉන්න," ඇය ප්‍රකාශ කළාය.

කටුවාපිටිය දේවස්ථානය දැක බලා ගැනීම සඳහා පැමිණ සිටි අය අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ද විය.

මහා දන්විල විපුලනන්ද හිමියන් ප්‍රකාශ කළේ මේ මොහොතේ රටේ සියලු ආගමික නායකයන් එක්ව කටයතු කළ යුතු බවය.

"විශේෂයෙන් ම මේ සිදුවීමේදී සැලකිය යුතු දරුවන් පිරිසකට දෙමාපියන් අහිමි වෙලා තියනවා. ඒ දරුවන්ට තාත්තෙක් අම්මෙක් වෙන්න අමාරුයි තමයි. නමුත් අපි උත්සහ කරන්න ඕනෑ. ඒ අයට වැඩිහිටියෙක් වෙන්න ඕනෑ. දෙමාපියෙක් වෙන්න ඕනෑ. ඒ වගේ ම අපෙන් ඉටුවෙන්න තියන වගකීම නොපිරිහෙළා ඉටු කරන්න ඕනෑ," උන් වහන්සේ පැවසූහ.

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ප්‍රියන්තා වාස් පැවිදි සොයුරිය මේ දිනවල කටුවාපිටිය ගම්මානයේ සැරි සරමින් පෑරුණු සිත් සුවපත් කිරීමේ කාර්යයේ නිරතව සිටින්නීය.

"දෙමාපියන්ට දරුවන් අහිමි කිරීම, දරුවන්ට දෙමාපියන් අහිමි කිරීම ලොකු විනාශයක්. ලොකු පාපයක්. මේ විනාශය කරලා ලබා ගත් දේ මොකක් ද? ඔවුන් ලබා ගත් දෙයක් නැහැ. ඔවුන් කරගෙන තියෙන්නේ ඔවුන් විනාශ වීම පමණයි. තව කොටසක් විනාශ කිරීම පමණයි," ප්‍රියන්තා වාස් පැවිදි සොයුරිය පැවසුවාය.