ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීගමුවේ උණුසුම් තත්ත්වය සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම
පාස්කු ඉරිදා දිනයේදී (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ඉරිදා (මාර්තු 05) යළිත් වරක් සමාජ මාධ්‍ය අවහිර කෙරිණ.
ඊට හේතු වූයේ, මීගමුව, කොච්චිකඩේ පොලිස් වසමේ පෝරුතොට ප්‍රදේශයේදී ඇති වූ නොසන්සුන් තත්ත්වය බව බලධාරීහු පැවසූහ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ, "මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමටත් සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමටත් මෙම පියවර ගෙන තිබුණි," යනුවෙනි.
කෙසේ වෙතත්, සඳුදා උදෑසන වන විට සමාජ ජාල යළි ක්‍රියාත්මක විය.
මීගමුවේ මොක ද වුණේ?
මීගමුව කොච්චිකඩේ,පෝරුතොට ප්‍රදේශයේ ඉරිදා (මැයි 05) හටගත් නොසන්සුන් තත්වය බීමත්ව කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් පිරිසක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර, සඳුදා (මැයි 06) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ, "ඊයේ සවස මීගමුව කොච්චිකඩේ පෝරුතොට පොලිස් වසමේ සිද්ධියක් වාර්තා වුණා. පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ බහින් බස් වීමක් සිදුවීමට හේතු වුණා.මේ සිදු වීමත් සමඟ අධික ලෙස බීමත්ව සිටි තවත් පිරිසක් සිද්ධියට මැදිහත් වුණා. එම මැදිහත් වීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් බවට පරිවර්තනය වුණා," යනුවෙනි.
ඔහු සඳහන් කළේ, පොලීසිය වහා ම මැදිහත් වී සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බවය.
එම සිද්ධියේදී යතුරු පැදි සහ ත්‍රී රෝද රථ කීපයකට අලාභහානි සිදුවීම් වාර්තා වී ඇතැයි ද ඔහු පැවසීය.
"කිසිවෙකු රෝහල්ගත වී නෑ. අතින් පහර දීමේ සිදුවීම් වාර්තා වුණා. සුළු පැමිණිලි වාර්තා වී තිබෙන්නේ. පසුගිය දිනවල පොලීසිය හා ආරක්ෂක අංශ විශේෂ වැටලීම් සිදු කළා, එම වැටලීම්වලින් හැකි වුණා, කඩු ආදී තියුණු ආයුධ රැසක් අත් අඩංගුවට ගන්න. මෙහෙයුම්වල ප්‍රතිඵලයක් නිසා ඊයේ සිදුවීමේ තියුණු ආයුධ භාවිත වී නෑ."
මේ අතර නිවේදනයක් නිකුත්කරන අගමැති කාර්යාලය පවසන්නේ, මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවන මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවය.
"ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇත," යනුවෙන් ද නිවේදනයේ සඳහන් වේ.
සමාජ මාධ්‍ය අවහිර කිරීම
එම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් ව්‍යාප්ත වන්නට විය.
මෙම තත්ත්වය හමුවේ, "වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමටත් සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමටත්," සමාජ මාධ්‍ය අවහිර කිරීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත්, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් සාමාන්‍ය ජනතාවට බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ බව බීබීසී සිංහල සේවය මීට පෙර වාර්තා කළේය.
ගැටුම්කාරී වාතාවරණයක දී බලධාරීන් සමාජ මාධ්‍ය අවහිර කිරීමට පෙළඹීම පිළිබඳව ද විවිධ අදහස් පළ වේ.
උණුසුම් තත්ත්වයකදී විසඳුම වන්නේ සමාජ මාධ්‍ය තහනම් කිරීම ද?
රටක් යම් උණුසුම් තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී වෛරී ප්‍රකාශ සමාජගත කිරීම වැළැක්වීම සඳහා ඇති විසඳුම සමාජ මාධ්‍ය අවහිර කිරීම ද යන්න පිළිබඳව ජනතාව අතර මතයක් නිර්මාණය වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් නීතිඥයෙකු වන ගෙහාන් ගුණතිලක ට්විටර් ඔස්සේ පවසා තිබුණේ, "ඊට විසඳුම තොරතුරු ගළා එන මාර්ග අවහිර කිරීම නොවන," බවය.
"ප්‍රචණ්ඩත්වය ඇති වන පරිදි ක්‍රියා කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු," බව ඔහුගේ අදහසය.