ශ්‍රී ලංකාවේ පිපිරීම්: යුද්ධ හමුදාවට 'අලුත් බලතල'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය බලතල බදාදා (අප්‍රේල් 24) සිට යුද්ධ හමුදාවට පවරා තිබේ.
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර ප්‍රහාර සඳහා සහභාගී වූ බෝම්බකරුවන්ගෙන් අටදෙනෙක් හඳුනාගෙන ඇත.

"අද උදේ වෙන තෙක් අපි කළේ පොලිසියට නීතිය හා සාමය රැකීම සදහා සහය වෙන එකයි. ඒත් හදිසි නීති රෙගුලාසි යටතේ ඒ සම්බන්ධයෙන් සෘජුව සහ කාර්යක්ෂමව ක්‍රියා කරන්න අපට පුළුවන්." යැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසුවේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එම බලතල අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ පැය 24ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හමුදාවට බලය හිමි වී ඇත.
එසේම පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවය වශයෙන් ජාතික තවුහීඩ් ජමා'අත් සංවිධානය හඳුනාගෙන තිබෙන බවද හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
මේ අතර, අයිඑස්අයිඑස් සංවිධානය මේ සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව කී ඔහු, "අයිඑස්අයිඑස් කියන සංවිධානය වගකීම භාර ගන්නවා කියලා කියනවා. කෙසේ වෙතත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි මුලින් හදුනාගත් දේවල්වල පරීක්ෂණ වෙන අතකට යොමු කරන්න. අපිට ඉක්මනින් ම හැකි වෙයි ඒ ගැන සනාථ කරන්න." යනුවෙන් පැවසීය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
බෝම්බකරුවන් පිළිබඳ තොරතුරු
මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ අයගෙන් එක් පුද්ගලයෙකු එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබුවෙක් බව හෙළිවී තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන බදාදා (අප්‍රේල් 24) මාධ්‍ය අමතමින් පැවසුවේ එම බෝම්බකරු ඔස්ට්‍රේලියාවේ ද අධ්‍යාපනය ලබා ඇති බවය.
එසේම ප්‍රහාර වලට සම්බන්ධ වූ නව දෙනාගෙන් අට දෙනෙක් හඳුනා ගත බව පොලීසිය පැවසීය.
ප්‍රහාරකයින් අතර එක් කාන්තාවක ද විණි.
එසේම බෝම්බකරුවන් දෙදෙනෙක් සහෝදරයින් බව හෙළිදරව් වී තිබේ.
මේ අතර කොළඹ සිටින බීබීසී සිංහල සේවයේ වාර්තාකරුවන් පැවසුවේ අද දින (අප්‍රේල් 24) මහජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතයේ අඩුවක් දක්නට ඇති අතර ඇතැම් දේවස්ථාන ආසන්නයේ ආරක්ෂාව තර කර ඇති බවකි.
මේ අතර අද (අප්‍රේල් 24) රාත්‍රී 10 සිට හෙට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.




























