ඔබේ මන්ත්‍රීවරයා මෙම වැරදි කර ඇත්නම් තනතුරින් 'පහ කළ හැකියි'

මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත්වීම සඳහා මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වන ලෙස නිර්වචනය වූ ක්‍රියා සහ අවස්ථා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දක්වා තිබේ.

ඔබේ මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ වුවත් ඔහු හෝ ඇය නුසුදුස්සෙකු නම් එම ධුරය අහෝසි කිරීම සඳහා අභියෝග කරන්නේ කෙසේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරමින් හා ඊට අදාළ තොරතුරු සම්පිණ්ඩනය කරමින් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වූවාය.

ඇය මුලින්ම කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා සුදුසුකම් නොලබන කිසිවෙකුට කිසිදු මැතිවරණයක් සඳහා තරඟ කිරීම සපුරා තහනම් වන බවය.

එම නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය සුදුසුකමකි.

සිහි විකල් බව

නමුත් මෑතක දී සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක් කර ඇති වගන්තියකට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇතත් වෙනත් රටක ද පුරවැසිභාවය දරන්නේ නම් ඔහු හෝ ඇය ද මහජන නියෝජිතයෙකු වීමට නුසුදුස්සෙකි.

එම නිසා ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.

එමෙන්ම යම් පුද්ගලයෙකු යහපත් මානසික මට්ටමකින් පසු නොවන බවට (Unsound Mind) ශ්‍රී ලංකාවේ පවත්නා නීතියකට අනුව ඔප්පු වී ඇත්නම් හෝ ඔප්පු කළහොත් එම පුද්ගලයාට මහජන නියෝජිතයෙකු විය නොහැකිය.

"මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසුකම් ලියැවිලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තියේ සිට 91වන වගන්තිය දක්වා." නීතීඥ චමින්ද්‍රි සපරමාදු ප්‍රකාශ කළාය.

ඇය ගෙන හැර දැක්වූ අනෙකුත් කරුණු සංක්‍ෂිප්තයක් ලෙස ගත් කළ මෙසේය.

  • මැතිවරණයකට තරඟ වැදීමට නම් ඔහු හෝ ඇය වයස අවුරුදු 18 සපුරා තිබිය යුතුය. (ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා ද එය මූලික සුදුසුකමකි.)
  • ආසන්නතම වසර හත ඇතුළත දෙවසරකට හෝ ඊට වැඩි කාලයකට නියම වූ සිර දඬුවමකින් මාස හයකට වැඩි කාලයක් සිරගත වී සිටියේ නම් නුසුදුස්සෙකි. (එම සිරකරුට ජනාධිපති සමාව හිමි වූයේ නම් එම කාල පරිච්ඡේදය අදාළ නොවේ.)
  • 1946 ශ්‍රී ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍ය සභා ආඥාවේ 52 සහ 53 වගන්ති ප්‍රකාර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට හෝ දූෂණ ක්‍රියාවකට වැරදිකරුවෙකු වී ආසන්නතම වසර හත ඇතුළත දඬුවම් ලබා ඇත්නම් එම පුද්ගලයාට ද මන්ත්‍රීවරයෙකු විය නොහැකිය.
  • එම ආඥා පනතට අනුව වෙනත් නීති විරෝධී ක්‍රියාවකට වරදකරුවෙකු වී වසර තුනක් ගතවන තුරු ඔහු හෝ ඇය මැතිවරණයකට නුසුදුස්සෙකි.

අල්ලස් ගැනීම

  • අල්ලස් පනත යටතේ වරදකරුවෙකු වී වසර හතක් ගෙවෙන තුරු කිසිවෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.
  • පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතේ 77 සහ 82 වගන්ති ප්‍රකාර, මැතිවරණ දූෂණ සහ අක්‍රමිකතා සිදු කිරීම යටතේ වරද කරුවෙකු වූයේ නම් වසර පහක් ගතවන තුරු ඡන්ද අපේක්ෂකයෙකු විය නොහැකිය.
  • මහජන ආයතන (දූෂණ වැළැක්වීමේ) ආඥා පනතේ 2 සහ 3වන වගන්ති ප්‍රකාර, යම් ආයතනයක තීන්දුවක් වෙනස් කිරීම සඳහා අල්ලසක් දීම හෝ අල්ලසක් ලබා ගැනීම වෙනුවෙන් වරදකරුවෙකු වී වසර පහක් ගතවන තුරු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81වන වගන්තියට අනුව යම්කිසි අයෙකුට එරෙහිව ප්‍රජා ආශක්නුතාව/ ප්‍රජා අබලතාව නියම වූයේ නම් එම කාල පරිච්ඡේදය තුළ ඔහුට හෝ ඇයට ඡන්ද අපේක්‍ෂකයෙකු වීමේ වරම අහිමි වනු ඇත.
  • ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 188 සිට 201වන වගන්ති ප්‍රකාර, සාවද්‍ය සාක්ෂි ලබා දීම වැනි වැරදි ක්‍රියා සඳහා වැරදිකරුවෙකු වී වසර හතක් ගත වන තුරු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුස්සෙකි.
  • විශේෂ ජනාධිපති කොමිසමකට අගරු වන ආකාරයට කටයුතු කළ අයෙකු ලෙස ඔප්පු වූයේ නම් වසර හතක් ගෙවෙන තුරු ඔහුට හෝ ඇයට ද ඡන්ද අපේක්ෂකත්වය අහිමි වනු ඇත.

මේ ගැනත් කියවන්න:

රජයේ කොන්ත්‍රාත්තු

ඉහත කී සියලු වැරදි ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා ද නුසුදුසුකම් වනු ඇත. ඊට අමතරව ඡන්ද අපේක්ෂකත්වය අහිමි වන විශේෂ නුසුදුසුකම් කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91වන වගන්තියේ දක්වා ඇත.

  • එක් මැතිවරණයක් වෙනුවෙන් දිස්ත්‍රික්ක දෙකකට හෝ වැඩි ප්‍රමාණයක් සඳහා නාම යෝජනා ලබා දී ඇත්නම් එම පුද්ගලයාගේ අපේක්ෂකත්වය අහිමි වනු ඇත.
  • එකම පුද්ගලයා දේශපාලන පක්ෂ දෙකක් හෝ ඊට වැඩි ගණනකින් අපේක්ෂකත්වය ලබා ගෙන ඇත්නම් එයද නුසුදුසුකමකි.
  • රජයට සම්බන්ධ කොන්ත්‍රාත්තුවකින් කිසියම් ප්‍රතිලාභයක් ලබන තැනැත්තෙකුට ද ඡන්ද අපේක්‍ෂකයෙකු විය නොහැක.
  • ශ්‍රී ලංකාවේ නීතියට අනුව යම් පුද්ගලයෙකු බංකොලොත්භාවය ප්‍රකාශ කර ඇත්නම් එය ද නුසුදුසුකමකි.
  • මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී අල්ලසක් ලබාගත් බවටත්, තම රාජකාරි තීන්දුවකට එම අල්ලස බලපා ඇති බවටත් ඔප්පු වුවහොත් වසර හතක් යන තුරු එම පුද්ගලයාට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.

මීට අමතරව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ නියුතු කෙනෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. ඡන්ද අපේක්ෂකයෙකු වීම සඳහා වැට බැඳෙන තවත් රජයේ තනතුරු රාශියක් පවතී. එවන්නෙකු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් නාම යෝජනා භාර දීමට පෙර තමන් දරන තනතුරින් ඉවත් විය යුතු ය.

ඉහත කී වැරදි සිදු කර ඇති පුද්ගලයෙකු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී ඇත්නම් ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම පවතී.

මැතිවරණ කොමසාරිස්වරයා කිසිදු පියවරක් නොගන්නේ නම් ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පැතිය හැකිය.