ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාවණා 1: "ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව" ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබ "ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට" කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාව සඳුදා (පෙබරවාරි 18) ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය.
එම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙම චන්ද්‍රිකාව ලබන අප්‍රේල් මාසයේදී ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් කක්ෂගත කරනු ලැබීමට නියමිත බවය.
මෙම චන්ද්‍රිකාව මාධ්‍ය වෙත හඳුන්වා දීම පසුගිය සිකුරාදා (පෙබරවාරි 15) සිදුකෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් ද ක්‍යුෂු තාක්ෂණ ආයතනයේදී (Kyushu Institute of Technology) පැවැත්විණි.
රාවණා 1
රාවණා 1 (RAAVANA-1) යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.
ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ සඳහන් කළාය.
ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය.
එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.
අරමුණු
රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.
- ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
- ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
- චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
- කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳ අත්හදා බැලීම.
- පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම
රාවණා තාක්ෂණය
මෙම සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, 'රාවණා 1' යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.
"රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ," අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
දුලානි සහ තරිඳු
දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය.
ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටිති.
තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ.
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.
කියවන්න: