ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සැකසූ මස්: "ලුණු ප්‍රතිශතය වැඩි ආහාර හඳුනා ගැනීමට වැඩපිළිවෙලක්"

"සැකසූ මස් (processed meat) කන්න හොඳ නෑ."

"සැකසූ මස් කෑවොත් පිළිකා වගේ බෝ නොවන රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි."

මෙවැනි කතා සාමාන්‍ය ජීවිතයේදී අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. මේ හේතුවෙන් සැකසූ මස් සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අදහස් පවතී.

කෙසේ වෙතත්, ඒවායෙහි ඇති රසවත්භාවය හේතුවෙන් පාරිභෝගික ජනතාව ඒවාට දක්වන කැමැත්තෙහි අඩුවක් නම් සිදුවී නොමැති බව වෙළෙඳසලකට යන ඕනෑ ම අයෙකුට දැකගත හැකියි.

සැකසූ මස් අහිතකර ද?

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර කාණ්ඩ තුනක් යටතේ වර්ග කරනු ලැබ තිබේ. එම කාණ්ඩවලට නියමිත වර්ණ 3ක් හඳුන්වා දී ඇති අතර එම වර්ණ අනුව ආහාර කාණ්ඩ මෙසේය.

  • කොළ වර්ණය - නිතර ආහාරයට ගත යුතු ආහාර
  • කහ වර්ණය - පාලනයක් සහිතව ආහාරයට ගත යුතු ආහාර
  • රතු වර්ණය - කලාතුරකින් පමණක් ආහාරයට ගත යුතු ආහාර

සැකසූ මස් අයත් වනුයේ, කහ වර්ණය නියෝජනය කරන පාලනයක් සහිතව ආහාරයට ගත යුතු ආහාර කාණ්ඩයටය.

එම කාණ්ඩයට අයත් ආහාරවල සීනි, ලුණු සහ මේද යොදා ඇති හෙයින් එම ආහාර සතියකට දෙවරක් හෝ තෙවරක් භාවිතයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයයි.

කෙසේ වෙතත්, සැකසූ මස්වල පවතින පෝෂ්‍යදායී කොටස් හේතුවෙන් ඒවා පාලනයක් සහිතව ආහාරයට ගැනීම ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම කාණ්ඩයේ ආහාර වර්ග ලැයිස්තුව පහත දැක්වේ.

මේ ගැනත් කියවන්න:

සැකසූ මස් යනු මොනවා ද?

සැකසූ මස් වෙළෙඳපොළේ විවිධ නම්වලින් පවතී. සොසේජස්, නගට්ස්, ෆිෂ් ෆින්ගර්ස්, මීට් බෝල්ස්, චිකන් ස්ලයිසස්, බේකන් ආදී ආහාර වර්ග සැකසූ මස්වලට අයත්ය.

සැකසූ මස් නිතර ආහාරයට ගැනීම නුසුදුසු ඇයි?

"සැකසූ මස් කියන්නේ ස්වාභාවික මස්වලට තවත් ලුණු වගේ දේවල් එකතු කරලා වෙනස් විදියකින් සකස් කළ මස්වලට. ඒ මස්වලට ලුණු කෘත්‍රිමව එක් කරන නිසා ලුණු ප්‍රතිශතය වැඩියි. ඒ නිසා ඒවා නිතර ආහාරයට ගැනීමෙන් ලුණු අධික වීම නිසා හට ගන්නා බෝ නොවන රෝගවලට ගොදුරු විය හැකියි," ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංගණනයන්ට අනුව ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන් 70% ක ප්‍රතිශතයක් පීඩා විඳිනුයේ බෝ නොවන රෝගවලිනි.

"මේ සැකසූ මස් වර්ග වඩා රසවත් කරන්න ලුණු එක් කරනවා. අප සාමාන්‍යයෙන් දිනකට ගත යුතු ලුණු ප්‍රමාණයක් තියෙනවා. මෙම සැකසූ මස් වැඩිපුර සහ නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයේ ලුණු ප්‍රතිශතය ඉහළ යන්න පුළුවන්. ඒ නිසයි සැකසූ මස් සතියකට දෙවරක් පමණ ආහාරයට ගන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ." එම වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

දිනකට ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය කොපමණ ද?

වැඩුණු පුද්ගලයෙකු දිනකට ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක් හෝ 6 ක් බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙන් ම එක්සත් රාජධානියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද නිර්දේශ කර තිබේ.

වසය අනුව එම නිර්දේශයන් මෙසේ ය.

  • අවුරුදු 1 - 3 = ග්‍රෑම් 2
  • අවුරුදු 4 - 6 = ග්‍රෑම් 3
  • අවුරුදු 7 - 10 = ග්‍රෑම් 4/5
  • අවුරුදු 11ට වැඩි = ග්‍රෑම් 5/6

ශ්‍රී ලංකාවේ සැකසූ මස්වල ලුණුවලට ප්‍රමිතියක් තිබේ ද?

"ආහාරවල ලුණු ප්‍රතිශතය සම්බන්ධයෙන් ප්‍රමිතියක් තියෙනවා. ඒ ගැන අදාළ සමාගම්වලට අපි දැනුම් දීලා තියෙන්නේ," සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සභාපති, වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඒත් ඒ ප්‍රමිතිය අනුව සැකසූ මස් නිෂ්පාදනය කරනවා ද කියන එක ප්‍රශ්නයක්. අපට නිතර අහන්න ලැබෙනවා සැකසූ මස්වල ලුණු ප්‍රතිශතය වැඩියි කියලා. සමහර විට තමන්ගේ නිෂ්පාදනවල අලෙවිය වැඩි කර ගන්න ලුණු වැඩියෙන් යොදා නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්," ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සැකසූ ආහාර නිෂ්පාදන සමාගම් බොහොමයක් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සෞඛ්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිති සහතික ලබාගෙන ක්‍රියාත්මක වේ.

මේ තත්ත්වය පාලනය කරන්න ක්‍රමවේදයක් නැද්ද?

ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සභාපති වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවේ, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව, ලුණු ප්‍රතිශතය අනුව අදාළ නිෂ්පාදනයේ ඇසුරුම මත වර්ණ සංඥාවක් මුද්‍රණය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.

"ලුණු ප්‍රතිශතය අධික ආහාරවල ඇසුරුම්වල කළු තිතක් මුද්‍රණය කිරීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කරන තුරු අපි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒක රටේ නීතියක් බවට පත් වෙයි" වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසීය.

"ඒක ක්‍රියාත්මක වුණා ම පාරිභෝගික ජනතාවට පුළුවන් නිසි ලුණු ප්‍රතිශතය සහිත නිෂ්පාදන තෝරා ගන්න."