ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල නවක වධය: "මීට පස්සේ තනපට අඳින්න බැහැ යැයි කිව්වා"

"විශ්ව විද්‍යාලයට ගිය මුල්ම දවසේ අපිට කියපු දෙයක් තමයි ඒගොල්ලෝ කියනකම්, මීට පස්සේ තනපට අදින්න බැහැ කියලා. මාස කීපයක් ම ඒක තිබ්බා, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවෝ ඒවා පරික්ෂා කරා, ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ආපු විශ්ව විද්‍යාල ජීවිතය මට එපා වුනා"

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සිදුවන නවක වධය ගැන දැන් නැවතත් දැඩි කතාබහක් ඇතිවෙමින් තිබියදී තමන්ට 2016 වසරේ විශ්ව විද්‍යාලයේ දී මුහුණ දීමට සිදුවූ අමිහිරි සිදුවීම් ගැන තරුණියක් බීබීසී සිංහල සේවයට එළෙස විස්තර කළාය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුව 2016/17 අධ්‍යයන වසරවලදී සිසුන් 637 ක් සහ 2015/16 අධ්‍යයන වසරවලදී සිසුන් 1352 ක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාල අතහැර ගොස් තිබේ.

"අපිට ලිංගික චිත්‍රපට ගෙනල්ලා දීලා, ඒවා බලල ඒක ගැන දැනුණු හැඟීම ලිපියක් ලෙස ලියන් එන්න කිව්වා, මම ඒක කරේ නැහැ, ඒ නිසා මට දරුණු දඬුවම් විදින්න වුනා," මුළින් අදහස් පළ කළ තරුණිය කියා සිටියාය.

"මම එකම එක දවසයි හොස්ටල් එකේ හිටියේ, ඒක නම් අපායක් වගේ, අපිව අඩ නිරුවත් වෙලා නටන්න කිව්වා පළවෙනි දවසේ, මම ඊළඟ දවසෙම අම්මට කියලා ළඟ තියෙන නෑදෑ ගෙදරක නැවතුනා," තම සරසවි ජිවිතයේ මුහුණ දුන් කටුක නවක වධ අත්දැකීම් ගැන ඇය ආවර්ජනය කළාය.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන්ගේ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා තත්ත්වය වඩාත් දරුණු වීමෙන් ඇයට අවසානයේ විශ්වවිද්‍යාලයට සමුදීමට සිදුවිණි.

අත්අඩංගුවට ගැනීම්

නවක වධයට ලක්වූ බව කියන සිසුන් රෝහල්ගත කිරීමේ පුවත් මෙන්ම නවක වධය දීම නිසා සිසුන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් නිතර මාධ්‍යවල වර්තා කරනු දක්නට ලැබේ.

නවක වධය හා සම්බන්ධ සිදුවීමක් සම්න්ධයෙන් සිසුන් පිරිසක් අවසන් වරට අත්අඩංගුවට ගැනුණේ සිකුරාදා (අගෝස්තු 17) ය. වේයන්ගොඩ උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් 11 ක් නවක වධයට විරුද්ධවූ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වූහ. පහරදීම නිසා තුවාල සිදුවූ සිසුන් දෙදෙනා ගම්පහ මුලික රෝහලට ඇතුළත් කෙරිණි.

පසුගිය ජුලි මාසයේ රුහුණු සරසවියට ඇතුළත් වූ භික්‍ෂුන් වහන්සේ නමක් නිරුවත් කර අමානුෂික ලෙස නවක වධය දුන් බවට නැගුනු චෝදනාවක් මත ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ පස් නමක් අත්අඩංගුවට ගත බව ද වාර්තා විය.

ඒ ආකාරයෙන් ම පසුගිය ජුනි මාසයේ ද ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයනයේ කෘෂි තාක්ෂණ පීඨයේ සිසුවියන් සිව්දෙනක් සහ සිසුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වුයේ, තමන්ට අමානුෂික ලිංගික නවක වධය දුන් බවට නවක සිසුවියන් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය.

"ලොකුම පාතාලය විශ්වවිද්‍යාල පද්ධතියේ"

පැමිණිලි කිරීමට ඇති බිය නිසා මෙවැනි සිදුවීම් රාශියක් යටපත්වී ඇති බව උසස් අධ්‍යපාන අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ මතය වී තිබේ.

මානසිකව, ශාරීරික පීඩනය මෙන්ම ලිංගික අඩන්තේට්ටම් ද ආදිය හේතුවෙන් 91,600 ක් වන විශ්වවිද්‍යාල සිසුන් පීඩාවට පත්වී ඇතැයි පෙන්වාදෙන අමාත්‍යවරයා ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව පවසයි.

"මේ අය වෙනම Safe House (නිවාස) කුලියට අරගෙන නවක වධය ක්‍රියාත්මක කරනවා. විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ මේ වනවිට සිසුන් 14 ක් නවක වධය නිසා මියගොස් තිබෙනවා. මේ රටේ තියෙන ලොකු ම පාතාලය තියෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේයි," විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය.

"අරමුණ, ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයයි"

නවක වධය සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඇඟිල්ල දිගු කළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ය.

මේ පිටුපස තම පක්ෂයේ සාමාජිකයන් සිටින බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂය පවසයි. තම පක්‍ෂයට එල්ල කළ බොරු චෝදනාවලට එරෙහිව වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකරන බව පක්ෂ ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍යයට පැවසීය.

මේ අතර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා නගන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර විශ්ව විද්‍යාලවල සිදුවන හිංසාකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස කිසි ලෙසක එකඟ නොවන බව ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම නවක වධය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බව, සඳුදා (20) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

"14 ක් මැරුණා කියනවා, ඒක බරපතල කාරණයක්. ඒවායේ නාම ලේඛන දෙන්න, අනික අමාත්‍යවරයා කියන නයිවල තාක්ෂණ ආයතනයේ ඇතිවුයේ නවක වධ සිදුවීමක් නෙවෙයි. ඒක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්," ලහිරු වීරසේකර කියා සිටියේය.

"ඇමතිවරයා කියනවා නවක වධය දෙන අයට කණ පැලෙන්න ගහන්න, එයා ආරක්ෂාව දෙනවා කියලා, මේකෙන් ඇතිවෙන්නේ තව ප්‍රචණ්ඩත්වය නෙවෙයිද?" ඔහු ප්‍රශ්න කරයි.

රතු බොත්තම් සහිත 'ප්'

නවක වධය වැනි පසුගාමී සිදුවීම් වැළැක්වීමට විශ්ව විද්‍යාල තුළ දැඩි කතිකාවක් ආරම්භ කළ යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසද්දී රජය පවසන්නේ ඒ සඳහා ඇති නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවය.

"මේ වනවිට සියලු ම ආකාරයෙන් මහජනතාව, සිසු සිසුවියන් මෙන් ම ඔවුනගේ දෙමාපියන් ද දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා" යැයි කී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ "අපිට ළමයි පුදුම විදියට ලියුම් එවනවා. ඒවා කියවන කොට ඇඩෙනවා," යනුවෙනි.

දැනට ගෙන ඇති පියවර :

  • 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වධය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී තිබේ.
  • ඒ අනුව වරදකරු වුවහොත් වසර 10 දක්වා සිර දඬුවම්.
  • පැය 24 පුරා පැමිණිලි කිරීමේ පහසුව:

1) දුරකතන - 0112-123700

2) අන්තර්ජාල පැමිණිලි පිටුව - www.ugc.ac.lk/rag

3) ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීම :

නවක වධය සිදුවීමකට මුහුණ දුනහොත් හෝ නවක වධය සිදුවීමක් දුටුවහොත් UGC EMERGENCY SAFETY APP නම්වූ ජංගම දුරකතන මෘදුකාංගයේ බොත්තමක් එබීම හරහා ඒ පිළිබඳ සිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට, විනය භාර ආචාර්යවරයාට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දීමේ හැකියාව ලැබේ. නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම මෘදුකාංගය ඌව වෙල්ලස්ස විශ්විවද්‍යාලයේ දැනට ක්‍රියාත්මක කෙරේ.

"පීඩාකාරී නොවන නවක වධය සුන්දරයි"

මතුවූ සමාජ කතිකාවතට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළකරනු දකින්නට හැකිය.