ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හමුදාවට පොලිසියේ බලය දීම හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ
මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන පරීක්ෂණ කිරීමේ බලය හමුදාවට ලබාදීමට රජය ගෙන ඇති තීරණය රට හමුදාකරණය කිරීමේ පළමු පියවර බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.
පොලිසියේ බලය හමුදාවට ලබාදීමට විරෝධය පළකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ "ජන බල සේනා" ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා ජන රැළිය අමතා අදහස් දක්වමිනි.
කොළඹ ලිප්ටන් වටරවුමෙන් විරෝධතා පාගමනකින් ඇරඹුණු මෙම විරෝධතා පාගමන හා රැළිය විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණු ජන රැළියකින් අවසන් විය.
"අද හමුදාවට දෙන්න යනවා පොලිස් බලය, මේ කරන්නේ යන්නේ භයානක කමක්," හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.
"හමුදාවට පරීක්ෂණ කරන්න බලය දෙනවා කුඩු ගැන අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර," එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රීවරුන් මෙම වැඩපිළිවෙලට ඉඩදෙනවා දැයි ප්‍රශ්න කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා යම් නිශ්චිත කාලයක් සඳහා, නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල හමුදාව වෙත පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පසුගියදා රජය ප්‍රකාශයට පත් කළේය.
හිටපු ජනාධිපතිවරයා ඉහත කී අන්දමින් විවේචනයට කළේ ආණ්ඩුවේ එම තීරණයය.
මෙම රැළියේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණය යොදාගෙන විපක්ෂය මර්ධනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව චෝදනා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වංචා හා දුෂණ විමර්ශනයට පිහිටුවා ඇති විශේෂ අධිකරණය දැඩි විවේචනයට ලක් කළේය.
"අද නඩු තෝරන්නේ ඇමතිවරු රැස් වෙලා. අධිකරණය පාලනය කරන්න අද ආණ්ඩුව සුදානම් වෙනවා. අද මේකට එරෙහිව නඩුකාරවරුම කතා කරනවා."
වත්මන් ආණ්ඩුව රටේ භුමිය විකුණන බවට චෝදනා කළ හිටපු ජනාධිපතිවරයා "මේ ආණ්ඩුව විකුණන කිසිම දෙයක් ගන්න එපා," යනුවෙන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් ද කළේය.
"මොකද අපි ආවම ආපහු මේවා ගැන නැවත සැළකිලිමත් වෙනවා," ඔහු පැවසුවේය.
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන්ට අමතරව පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වෙනුවෙන් හිටපු අමාත්‍ය ඩබ්ලිව් ඩි ජේ සෙනවිරත්න ද මෙම විරෝධතා රැළියට හා පාගමනට එක්ව සිටියේය.
2020 ජනාධිපතිවරණය තෙක් බලා නොසිට ඉක්මනින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළ යුතු බව මෙම උත්සවය ඇමතු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් බහුතරයක අදහස වී තිබුණි.
කෙසේ වුවත් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් රැලියේදී කිසිදු සඳහනක් නොවීම කැපී පෙනිණ.