සුනඛයෙකු සමග ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් 'රේගු නිලධාරීන්ට පහර දීලා'

කටුනායක ගුවන් තොටුපොල

ඡායාරූප මූලාශ්‍රය, News.lk

සුනඛයෙකු සමග ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක යුවළක් කළ පහරදීමකින් තුවාල ලැබූ රේගු නිලධාරීන් 5 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කළ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙම කුවේට් ජාතික යුවළ තමන් සුරතලයට ඇතිකරන සුනඛයා සිකුරාදා (ජූලි 27) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුලපලෙන් ශ්‍රී ලංකාව තුළට නිසි අවසරයකින් තොරව ගෙන ඒමට උත්සාහ කිරීම නිසා මෙම ගැටළුව ඇතිවූ බව ශ්‍රී ලංකා රේගුවේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය සඳහන් කළේය.

සතුන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නිසි අවසරයක් ලබාගත යුතු අතර එසේ අවසරයක් නොලබා ගෙන එන සතුන් විශේෂ සත්ව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබයි.

මෙම යුවළ සිය සුනඛයා මෙලෙස රඳවා තැබීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට පහරදී බලහත්කාරයෙන් සුනඛයා සමග ගුවන්තොටුපළෙන් පිටත්වීමට උත්සාහ කළ බව ද රේගු නිලධාරීහු පවසති.

එහිදී රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු, රේගු නිලධාරිනියක ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

තවත් කියවන්න:

මෙම යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට 28 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශයක සිට ශ්‍රී ලංකාවට සුනඛයන් සහ බළලුන් සුරතල් සතුන් ලෙස රැගෙන ඒමට පෙර ශ්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු අතර ඒ සඳහා සතුන්ගේ සෞඛ්‍ය තත්වය ඇතුළු කාරණා ගණනාවක් තහවුරු කරමින් ලියකියවිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.

එලෙස අවසරයක් ලබානොගෙන සතුන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී එම සතුන් අයිතිකරුවන්ගෙන් වෙන් කර විශේෂ සත්ව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබයි. තම සංචාරය අවසන් කර යළි පිටව යාමේදී ඔවුන්ට සිය සුරතල් සත්වයා නැවත කැඳවාගෙන යා හැකිය.

සතුන්ගෙන් විවිධ රෝග පැතිරීමේ අවස්ථාව වැළැක්වීමට ලොව සෑම රටකම පාහේ සතුන් තම රට තුළට ගෙන ඒමේදී මෙවැනි නීති ක්‍රියාත්මක වේ.