යාපනය දැරියට අතවර සිදුව ඇත්දැයි සොයා වැඩිදුර පරීක්ෂණ: සැකකරු රිමාන්ඩ්

පසුගිය සඳුදා (ජුනි 25) යාපනය කාට්ටුපුලම්, සුලිපුරම් ප්‍රදේශයේ පොදු ළිඳක වැටී සිටියදී සොයා ගනු ලැබූ පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු, ජූලි 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම දැරිය අතවරයට ලක්ව තිබේ දැයි සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
කෙසේවෙතත්, දැරිය දුෂණයට ලක්ව ඇති බවක් මූලික මරණ පරීක්ෂණයෙන් හෙළි වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ඒකකය ඒ බව කියා සිටියේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ මියගිය දැරිය අතවරයට ලක්ව ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කළ විමසීමකදීය.
ගෙල සිර කර දැරිය ඝාතනය කර ඇති බව යාපනය රෝහලේදී කළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර විමර්ශන කරන බවත් මේ වනවිට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කළ නිවේදනයක දැක්වේ.


22 හැවිරිදි සැකකරු බදාදා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර ඝාතකයින් සොයා වහා දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශයේ පාසල් දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් අඟහරුවාදා (ජුනි 26) විරෝධතාවක නිරතවුහ.








