දඹුල්ල ලෙන් විහාරය: "අත්‍යවශයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි"

දඹුල්ල ලෙන් විහාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආසියාවේ තිබෙන දිගම ලෙන ලෙස සැලකෙන දඹුල්ල ලෙන් විහාර සංකීර්ණයේ ඇති චිත්‍ර සහ මූර්ති ස්වාභාවික මෙන්ම මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යාමේ තර්ජනයට මුහුණපා තිබෙන බව පුරාවිද්‍යාඥයෝ පවසති.

ඒ සඳහා බැක්ටීරියාවක් සහ දිලීර දෙවර්ගයක් ද හේතුවී ඇති බව ඒ පිළබඳ පර්යේෂණ කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ මහාචාර්ය ඩීඑල් ජයරත්න බීබීසී සිංහල සේවය සමග පැවසීය.

මිට අමතරව අධික ලෙස මහජනයා ගැවසීම හේතුවෙන් ඇතිවන රසායනික හේතු නිසා තර්ජනයට ලක්ව ඇති චිත්‍ර සහ මූර්ති සංරක්ෂණය කිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සිදුවෙමින් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (රසායන සංරක්ෂණ) උපාලි වතුගේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

රංගිරි දඹුලු ලෙන් විහාරය වැදගත්වන්නේ ඇයි ?

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය මාලිංග අමරසිංහ පවසන පරිදි මතු සඳහන් කරුණු හේතුවෙන් දඹුල්ල ලෙන් විහාර සුවිශේෂීවේ.

  • ආසියාවේ ඇති දිගින් වැඩිම ලෙන් සංකීර්ණය වීම.
  • එහි ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත්වූ බව පුරාවිද්‍යා පර්යේෂණවලදී තහවුරුවී තිබීම.
  • මූල බ්‍රාහ්මී සෙල් ලිපි හමුවීම.
  • පසු කාලයක භික්ෂූන්ගේ පරිහරණය සඳහා භාවිතයට ගැනීම.
  • ශ්‍රී ලංකාවේ හමුවුණ පැරණි ශිලා බුදු පිළිම මෙම ලෙන් තුළින් හමුවීම.
  • 17 වෙනි සියවස වැනි යුගයක නිර්මාණය කළ චිත්‍ර ඉතා හොඳින් ආරක්ෂාවී තිබීම.

මෙහි ඇති චිත්‍ර සහ මුර්තිවල වැදගත්කම සහ ලෙන් විහාරයක් ලෙස ඇති සුවිශේෂී පිහිටීම හේතුවෙන් යුනෙස්කෝ සංවිධානය විසින් 1991 දී දඹුල්ල ලෙන් ලෝක උරුමයක් (World Heritage Site) ලෙස නම් කරන ලදි.

ලෝක උරුමයක්වූ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක උරුමයක්වූ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය

පුරාවිද්‍යාත්මක සහ කලාත්මක වශයෙන් එවැනි වැදගත්කමක් සහිත දඹුල්ල ස්වභාවික සහ මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් මේවන විට තර්ජනයට ලක්ව පවතී.

සිදුවී ඇත්තේ කුමක්ද?

2014 වසරේ අග භාගයේදී කරන ලද පරීක්ෂාවකදී ගල් ගුහා සියල්ලේම පාහේ ඉහළ සුදුපාට සේලයක් වැනි ක්ෂුද්‍ර ජීවී වර්ධනයක් තමන් නිරීක්ෂණය කළ බව ක්ෂුද්‍රජීව විද්‍යා පිලිබඳ මහාචාර්ය ඩීඑල් ජයරත්න පවසයි.

"සාම්පල ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබූ ස්ට්‍රෙප්ටොමයිසින් (Streptomycin) නැමති බැක්ටීරියාවක් හඳුනා ගන්නට හැකිවුණා. එමගින් සුදු සේලයක් වැනි ව්‍යාජ දිලීර ජාලයක් හදනවා."

Department of Archaeology

ඡායාරූප මූලාශ්‍රය, Department of Archaeology SL

අදාළ බැක්ටීරියාව වර්ධනය වන්නේ අඳුරු ස්ථානවල වන අතර වාතයේ ඇති තෙතමනය බැක්ටීරියාවේ ශීඝ්‍ර පැතිරීමට හේතු වන බව විශේසඥයෝ පවසති.

"සුදු පිරියම් කර සිතුවම් නිර්මාණය කර තිබෙන බිත්ති මත කහ සහ කොල පැහැති දිලීර වර්ධනයක් දකින්නට හැකිවුණා. මෙම දිලීර නිසා සුදු පිරියම් කළ කොටස ගලෙන් වෙන්වී කුඩු වශයෙන් වැටෙන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මේ නිසා චිත්‍ර මුළුමනින්ම විනාශවීමේ තර්ජනයක් පවතිනවා." යනුවෙන් මහාචාර්ය ජයරත්න සඳහන් කළේය.

"බදාමය බොහොම දුර්වල තත්ත්වයකයි පවතින්නෙ."

දඹුල්ලේ පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙනත් ලෙන් විහාර සහ විදේශීය රටවල ලෙන් තුළ ද මෙම තත්ත්වය දකින්නට ලැබෙන බව ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා පවසයි.

එසේම, ශ්‍රී ලංකාවේ විවිධ ලෙන්වල කළ ප්‍රතිකර්ම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇතත්, දඹුලු ලෙන් විහාරයේ ඇති සුවිශේෂත්වය මත, ස්ථානීය පරීක්ෂණ කරමින් ප්‍රතිකර්ම කිරීමට මහාචාර්ය ජයරත්න අපේක්ෂා කරයි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෘමි හානි සහ පුපුරා ගිය පිළිම

"මේවන විට දඹුල්ල සිතුවම් විනාශ මුඛයට යමින් තියෙනවා. එකක් තමයි කෘමි හානි වගේම දිලීර සහ බැක්ටීරියා වර්ග. කාබන් සහ දූවිළි බැඳී තිබීම අනෙක් කාරණයයි," පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (රසායන සංරක්ෂණ) උපාලි වතුගේ කියා සිටියේය.

තෙතමනය නිසා පිළිම අභ්‍යන්තරයට ජලය උරාගෙන එය වියලෙන විටදී පැලීමකට ලක්වන බැවින් බදාම තට්ටුව ගැලවී තවත් අවුරුදු 4 - 5 ක් ඇතුළත විශාල විනාශයක් විය හැකි බව උපාලි වතුගේ පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීමෙන් පිළිම පුපුරා ඇති සෑම තැනකම ඊට අවශ්‍ය බදාම සකසා එය කාවැද්දීම මගින් සංරක්ෂණය කරන බවත්, කැඩී ඇති තැන් පුරවා මුල් තත්ත්වයට ගන්නා බවත් ඔහු පැවසීය.

"විටින් විට හදිසි සංරක්ෂණ කටයුතු කරගෙන ආවත් ලෙන් පහේම සංරක්ෂණය කළයුතු අවශ්‍යතාවක් දැන් මතුවෙලා තියෙනවා."

කෘමි හානි පාලනය කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය අසේල කුළතුංගට භාරදී ඇති බවත්, ඒ අනුව කෘමි සතුන් පාලනයට අධි සංඛ්‍යාත ශබ්ද නිකුත්කරන උපකරණ සවිකර ඇති බවත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

"ඒ වගේම,මිනිසුන්ගෙන් සහ ස්වභාවිකව ඇතිවන ආද්‍රතාවය මැනීමට සංවේදක සවිකර තියෙනවා."

Department of Archaeology SL

ඡායාරූප මූලාශ්‍රය, Department of Archaeology SL

ඡායාරූප ශීර්ෂ වැකිය, "මෙහිදී සිදුවන්නෙ තැන්පත්වී ඇති දූවිලි සහ කාබන් යාන්ත්‍රිකව ඉවත් කිරීමක්"

සිතුවම්වලට ඇති අනතුර

රංගිරි දඹුලු ලෙන් විහාර සිතුවම්වල ආරක්ෂිත ආලේපයක් යොදා නැති බවත් ඒ හේතුවෙන් තීන්ත ස්ථරය, ජලයට සහ රසායන ද්‍රව්‍යයන්ට ඉතා සංවේදී බව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක (රසායන) උපාලි වතුගේ පවසයි.

"ඒ නිසා රසායන සංරක්ෂණ මිශ්‍රණයක් යෙදීම අපහසුයි. චිත්‍රමත තැන්පත්වී ඇති දූවිලි සහ කාබන් යාන්ත්‍රිකව ඉවත් කිරීමකුයි මෙහිදී සිදුවන්නෙ."

සංරක්ෂණය කල් පැවතීමට නම්;

  • විශාල වශයෙන් මහජනයා ඇතුළුවීමෙන් ඇතිවන හානි වලක්වා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කිරීම.
  • මිනිසුන්ගේ දහඩියෙන් ඇතිවන ලවණතාව පාලනය කිරීමට පියවර ගැනීම.
  • ගුහා තුළ නිවැරදි ආර්ද්‍රතාවය පවත්වා ගැනීම.
  • කෘමින් පාලනයට කටයුතු කිරීම.

සිදුවිය යුතු බව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

සබැඳි පුවත්: