ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආචාර්ය ලෙස්ටර්ගේ සම්මාන සොරකම: හය දෙනෙක් රිමාන්ඩ්
පසුගිය සතියේ දිවියෙන් සමුගත් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අයත් 'රණ මයුර' යාව ජීව ප්‍රනාම සම්මානය සහ ජංගම දුරකථනය සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හය දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
බම්බලපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය හමුවට ඉදිරිපත් කරන ලදී.
එහිදී සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි නමුත්, පොලිසිය අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති බැවින් ඔවුන්ට ඇප ලබාදීමට විරෝධය පළකරන බවය.
ඒ අනුව සැකකරුවන් පිරිස ලබන 21 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඒ අතරින් දෙදෙනෙකු මීළඟ දින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කෙරිණ.
ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අප්‍රේල් 29 වෙනි දින කොළඹදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 99 වෙනි වියේ පසුවිය.
ජ්‍යෙෂ්ඨ සිනමාවේදියාගේ අවමඟුල් උත්සවයට පෙර නිවසේ ආගමික වතාවත් සිදුවන අවස්ථාවේදී ඔහුගේ 'රණ මයුර' සම්මානය සහ ජංගම දුරකථනයක් අතුරුදහන් වී තිබිණ.
දෙස්, විදෙස් සිනමා ශිල්පීන්, විචාරකයන් සහ සිනමාලෝලීන්ගේ ප්‍රණාමය මධ්‍යයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුන අවමගුල් උත්සවයකදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පසුගිය බදාදා (මැයි 02) දැයෙන් සමුගත්තේය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් හෙළ සිනමාව වෙනුවෙන් ඉටු කරන ලද අනුපමේය මෙහෙයට ගෞරව කිරීමක් ලෙස එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි.
සබැඳි ලිපි: