"කෝටි දෙක කෝටි දහයකින් කොටසක්"

රුපියල් කෝටි දෙකක මූල්‍ය අල්ලසක් ලබා ගැනීමේ චෝදනා යටතේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු ඊයේ (මැයි 03) අත්අඩංගුවට ගන්නා ලද්දේ පෞද්ගලික සමාගමක ඉන්දීය ජාතික ප්‍රධානියකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බව වාර්තා වෙයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්, ඊයේ බ්‍රහස්පතින්දා අත් අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව මැයි මස නවවෙනි (09) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
ඔවුන් සිය අල්ලස හැටියට රුපියල් කෝටි පනහක පමණ මුදලක් ඉල්ලා පසුව එය රුපියල් කෝටි දහයකට අඩුකර ඇති බවත් අදාළ වාර්තා මගින් පැවසෙයි.
ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ එම කෝටි දහයෙන් කෝටි දෙකක පමණ මුදලක් කොළඹ තරුපහේ හෝටලයක දී ලබා ගනිමින් සිටියදී බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
එම තොරතුරු අනුව, කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත්‍ර සහ ගොඩනැගිලි එක්තරා පෞද්ගලික සමාගමකට පවරා දීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනා එම අල්ලස් මුදල ඉල්ලා ඇත.
චූදිත අයි.කේ.මහානාම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෑතදී පත්වීම් ලද රාජ්‍ය නිලධාරියෙකි.
එම පත්වීම ලැබීමට පෙර ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෑතදී අත්අඩංගුවට ගන්නා ලද ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ඉහත කී චූදිතයන් දෙදෙනා බවත් පැවසෙයි.
රුපියල් කෝටි දෙකක පමණ අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබන එකී රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට එරෙහිව එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ සියලු බලධාරීන්ට දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය මේ අතර නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
එම අපචාරය සම්බන්ධයෙන් චෝදනා ලබන නිලධාරීන් දෙදෙනාගේ ගේ සේවය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බවත් එම නිවේදනය පවසයි.
"අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත් අඩංගුවට ගනු ලැබීම මගින් පෙන්නුම් කෙරෙන" බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.
එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් විසින් සිදු කරනු ලබන, මෙපරිද්දෙන් නීතියේ ග්‍රහණයට හසු නොවන ගනුදෙනු කොපමණ ප්‍රමාණයක් විය හැකිදැයි මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ඇතැමෙක් ප්‍රශ්න කරති.
සබැඳි පුවත්;









