ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදීන් ඝාතනය:රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් ගැන පරීක්ෂණයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂාව සැපයූ නාවික හමුදා සාමාජිකයින් කීපදෙනෙකු පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බව රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (මැයි 03)දැනුම් දුන්නේය.
රහස් පොලිසිය විසින් එම දැනුම් දීම සිදු කරන ලද්දේ, අදාළ නඩුව අද (මැයි 03)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේය.
එම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් ආකාරයෙන් පරීක්ෂණ සිදු කරන බව කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට ආරක්ෂාව ලබා දුන් නාවික හමුදාවේ සාමාජිකයින් කීප දෙනෙකු පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන් කළ රහස් පොලිසිය, ඒ අනුව 2012 වසරේ ජනවාරි පළමුවෙනිදා සිට 2015 අගෝස්තු මාසයේ පස්වෙනිදා තෙක් වන කාලසීමාව තුළ ඔවුන්ගේ දෛනික සටහන් පොත්, කෙටි සංඥා හා නිවාඩු ලේඛන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.
එම ඉදිරි පරීක්ෂණ සිදුකරමින් අදාළ කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජුනි මස විසිනව (29) වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.
සබැඳි පුවත්;