හම්බන්තොට විදුහල්පතිනියගේ මරණය ගැන "නීතිය ක්‍රියාවට නගන්න"

'නිසි පරීක්ෂණයක්' ඉල්ලා හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'නිසි පරීක්ෂණයක්' ඉල්ලා හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක්

නායකත්ව පුහුණුවේදී මියගිය හම්බන්තොට විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන් බදාදා (පෙබරවාරි 21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවක යෙදී සිටියහ.

කුරුණෑගල වාරියපොළ 'වයඹ පුහුණු මධ්‍යස්ථානයේ' පැවති නායකත්ව පුහුණුවක් අතරතුර පසුගිය 17 වැනි දින හදිසි අනතුරකින් තුවාල ලැබූ හම්බන්තොට 'සුචි' ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණී කුමාරි අතපත්තු (53) රෝහලට ගෙනයන අතරතුර මියගියාය.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ අවසන්වනතුරු එම නායකත්ව පුහුණු වැඩමුළු නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

නීතිමය ක්‍රියාමාර්ග ගන්න

'ගුරු සංගම් හා විදුහල්පති සංගම් නිහඬයි' - විරෝධතාකරුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ගුරු හා විදුහල්පති සංගම් නිහඬයි' - විරෝධතාකරුවන්

රෝහිණී කුමාරි අතපත්තු විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

300 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටි අතර, විදුහල්පතිනියගේ මරණයෙන් පසු රජයේ නිලධාරින් මෙන්ම ගුරු සංගම් හා විදුහල්පති සංගම් දක්වන 'නිහැඬියාව' දැඩි සේ හෙළා දකින බව ඔවුහු පවසති. එමෙන්ම මාධ්‍ය මගින් මෙම සිද්ධිය දන්වන තෙක් නිලධාරීන් එය වසන් කිරීමට තැත් කළ බවට ද ඔවුහු චෝදනා කරති.

"වයස් සීමාවන් පවා නොසලකා හරිමින් සිදුකරන මෙවැනි පුහුණුවීම් තවදුරටත් නොපවත්වා මේ සඳහා බිලිවෙන තවත් වටිනා ජිවිත සුරක්ෂිත කර දෙන්න," විරෝධතාවට එක්වූ සමීර ලක්මාල් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ඉදිරියේදී මෙම අවදානම් පුහුණුවීම නතර කරන ලෙසත් මිය ගිය විදුහල්පතිනියගේ පවුලේ අයට සාධාරණයක් ඉටුකර එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසත් විරෝධතාවයට එක්වූ සියලු දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

හදිසි අනතුරට ලක්වීමට විනාඩි 15 කට පෙර විදුහල්පතිනිය නායකත්ව පුහුණු වැඩ සටහනට සහභාගී වෙමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, හදිසි අනතුරට ලක්වීමට විනාඩි 15 කට පෙර විදුහල්පතිනිය නායකත්ව පුහුණු වැඩ සටහනට සහභාගී වෙමින්

දියණියන් සිවු දෙනකුගේ මවක වූ රෝහිණී කුමාරි අතපත්තු විදුහල්පතිනිය, දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරියක ලෙස ප්‍රද්ශයේ ජනතාව අතර ගෞරවාදරයට ලක්ව සිටියාය. 2011 වර්ෂයේ හම්බන්තොට 'සුචි' ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවයට එක් වූ ඇය 2013 වර්ෂයේ සිට මිය යන තෙක් එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළාය.

සබැඳි පුවත්: