විදුහල්පතිනි මරණය : පරීක්ෂණ අවසන්වනතුරු නායකත්ව පුහුණු වැඩමුළු නවතයි

හදිසි අනතුරට ලක්වීමට විනාඩි 15 කට පෙර විදුහල්පතිනිය නායකත්ව පුහුණු වැඩ සටහනට සහභාගී වෙමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, හදිසි අනතුරට ලක්වීමට විනාඩි 15 කට පෙර විදුහල්පතිනිය නායකත්ව පුහුණු වැඩ සටහනට සහභාගී වෙමින්

කුරුණෑගල වාරියපොළ 'වයඹ පුහුණු මධ්‍යස්ථානයේ'දී පසුගිය 17 වනදා සවස හදිසි අනතුරකින් තුවාල ලැබ හම්බන්තොට 'සුචි' ජාතික පාසලේ විදුහල්පතිනී රෝහිණී කුමාරි අතපත්තු මරණයට පත්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ අවසන්වනතුරු එම නායකත්ව පුහුණු වැඩමුළු නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (පෙබ 20) පියවර ගත්තේය.

එම මරණය සම්බන්ධයෙන් ඊයේ (පෙබ 19) බීබීසී සිංහල සේවය කළ විමසීමක දී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් "එම කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් තමා වෙත පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස" අදාළ අංශවලට දැනුම් දී ඇතැයි සඳහන් කළේය.

නායකත්ව පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටිය දී හදිසි අනතුරකට ලක්වූ විදුහල්පතිනිය බිම වැටීමකින් හිස වැදී මොළයේ ඇතිවූ රුධිර වහනයකින් මරණයට පත්වූ බව එම සිද්ධිය සම්බන්ධයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කරන ලද දැනුම් දීමක් අනුව සිය බිරිඳ වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩ සටහනකට සහභාගී වෙමින් සිටි බවත් පසුගිය 17 වනදා සවස එම හදිසි අනතුර ගැන දැන ගන්නට ලැබුණ බවත් මරණයට පත් විදුහල්පතිනියගේ ස්වාමි පුරුෂයා වන තිලකරත්න අබේසිංහ පවසයි.

අනතුරට පත්ව සිටි සිය බිරිඳ සමඟ තමා දුරකතනයෙන් කතා කළ බවත් තිලකරත්න අබේසිංහ පවසයි.

විදුහල්පතිනියගේ සැමියා - තිලකරත්න අබේසිංහ
ඡායාරූප ශීර්ෂ වැකිය, විදුහල්පතිනියගේ සැමියා - තිලකරත්න අබේසිංහ

"මගේ නෝනා මට කිව්ව - මහත්තයා මට ගොඩක් ආමාරුයි - කියල . මම කිව්ව ඔයාට බුදුසරණයි කියලා. පස්සේ මට දැන ගන්න ලැබුණා, කුරුණෑගල රෝහලේ සිට කොළඹ මහ රෝහලට නෝනා රැගෙන යන අතර ඇය මියගිය බව" සිය බිරිඳගේ අභාවයෙන් කම්පාවට පත්ව සිටින තිලකරත්න අබේසිංහ වැඩි දුරටත් සඳහන් කළේය.

ගුරුවරින්ට යුද හමුදාවට සමාන මට්ටමේ පුහුණුවක් ලබා දෙනවා නම් විධිමත් ආරක්ෂාවක් යටතේ එය සිදුකළ යුතු අතර ඉහත කී පුහුණු පාඨමාලාව තුළ එවැනි ආරක්ෂාවක් නොතිබූ බව තහවුරු වන බව තිලක රත්න අබේසිංහගේ අදහස වෙයි.

මියයන විට 53 වැනි වියේ පසු වූ රෝහිණී කුමාරි අතපත්තු විදුහල්පතිනිය දියණියන් සිවු දෙනකුගේ මවක් වන අතර දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරියක් ලෙස ප්‍රද්ශයේ ජනතාව අතර ගෞරවාදරයට ලක්වෙයි.

2011 වර්ෂයේ හම්බන්තොට 'සුචි' ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවයට එක් වූ ඇය 2013 වර්ෂයේ සිට මිය යන තෙක් එම විද්‍යාලයේ විදුහල් පතිනිය ලෙස සේවය කළාය.

"අම්මයි - අපියි මේ ගෙදර ජීවත් වුණේ යාළුවො වගේ. එයා අපට ගොඩක් ආදරෙයි. එයා කොහේ ගියත් අපට නිතරම කතා කරනවා. මම ආපහු ඉරිදාට එනවා කියලයි අම්ම එදා ගෙදරින් ගියේ" රෝහිණී කුමාරි අතපත්තු විදුහල්පතිනියගේ වැඩිමහල් දියණිය වන ලක්ෂානි මධුෂිකා පවසන්නීය.

'සුචි' ජාතික පාසලේ ආචාර්ය මණ්ඩලයේ මොලොග්ගමුවේ ධම්මදින්න හිමි
ඡායාරූප ශීර්ෂ වැකිය, 'සුචි' ජාතික පාසලේ ආචාර්ය මණ්ඩලයේ මොලොග්ගමුවේ ධම්මදින්න හිමි

"අපේ මැඩම් අපට සැලකුවේ දරුවන්ට වගේ. අපේ හැම කටයුත්තක් ගැනම හොඳින් හොයා බැලුවා . ඇය හොඳ ගුරුවරියක්. අපට නැති වුණේ හොඳ විදුහල් පතිනියක්. ඒ විතරක් නොවෙයි, පාසලේ දරුවන්ට නැති වුණේ හොඳ අම්ම කෙනෙක්. මොකද? එතුමිය ළමයින් නිවැරදි මාර්ගයකට ගන්න කටයුතු කළා"සුචි ජාතික පාසලේ ශිෂ්‍යාවක වන සචිනි මලීසා පවසන්නීය.

"ජීවිත අවදානම් සහිත ක්‍රියාවක් නිසා ඉතා දක්ෂ ,කරුණාවන්ත එසේම ළමුන් තේරුම් ගත් විදුහල්පතිනියක් දරුවන්ට අහිමි වුනා. මෙවැනි පුහුණු ලබා දෙනවා නම් ඔවුන්ගේ වයස වගේම ආරක්ෂාව ගැන නිසි අයුරින් සොයා බැලිය යුතුයි '' සුචි ජාතික පාසලේ ආචාර්යවරයකු වන මොලොග්ගමුවේ ධම්මදින්න හිමියෝ පෙන්වා දෙති.

සොවින් පෙළෙන පාසල් දරුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, සොවින් පෙළෙන පාසල් දරුවන්

සමාන පුවත්;