ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මතභේදයට ලක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක කොළඹට කැඳවයි
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අසළ පැවති උද්ඝෝෂණයක් අතරතුර කිසියම් අභිනයක් පෑම සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සාකච්ඡාවක් සඳහා කොළඹට කැඳවා තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මේ බව කියාසිටියේ අද (පෙබ 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
පෙබරවාරි 4 වෙනිදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී නිදහස් දින සමරුව පැවැත්වෙද්දී එම පරිශ්‍රය අසළට රැස්වූ දෙමළ පුද්ගලයින් ද ඇතුළත් පරිසක් උද්ඝෝෂණයක යෙදුණහ.
එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා එම උද්ඝෝෂකයින් වෙත පෑ අභිනයක් පිළිබඳ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පෙබරවාරි 6 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම නීලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලද බවය.
ඔහු "ආක්‍රමණශීලී" ආකාරයකින් හැසිරුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ද එම නිවේදනයේ දැක්විණි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් වෙත ලිපියක් යැවූ එරට ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක්, බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ "රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කරමින් ඔහු නෙරපා හරින්න" යැයි ඉල්ලා සිටියහ. එසේම එම ලිපියෙන් ඔවුන් තවදුරටත් පෙන්වාදුන්නේ "ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන අතරේදී අදාළ නිලධාරියා 'යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්' කිරීම එහි සිටි දෙමළ පුද්ගලයන් බිය ගැන්වීමක්" ලෙසය.
එසේ ලිපියක් යොමු කරනු ලැබුවේ දෙමළ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිනියක වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජොආන් රයන් (Joan Ryan ) සහ එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිනිය වන ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) විසිනි.
අත්හිටුවා යළි සේවයේ පිහිටුවීම
කෙසේවෙතත්, අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවන ලද බව දන්වා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ ද ඊට පසු දා (පෙබරවාරි 7) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ඔහුව යළි සේවයේ පිහිටුවනු ලැබිණි.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු එවර බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, "ඔහු නැවත සේවයට පැමිණෙනවා. නමුත් පරීක්ෂණයක් පැවැත්වේවි" යනුවෙනි.
එහෙත්, ඊට පසු හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උපුටා දක්වමින් පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් වුයේ මූලික තොරතුරු විමසීම්වලදී ලද තොරතුරු අනුව අදාළ නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මතුවී නැති බවය.
කෙසේවෙතත්, අදාළ සිදුවීමට පසු බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාවට එරෙහිව මෙන්ම ඔහුට සහය පළකරමින් ද ලන්ඩන් නුවර විවිධ ස්ථානවල උද්ඝෝෂණ පැවති අතර සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැතිරී ගියේය.