ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිගේඩියර්වරයාගේ සේවා අත්හිටුවීම ජනාධිපතිගේ නියෝගයෙන් ඉවතට
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා යළි සේවයේ පිහිටුවා තිබේ.
අදාළ බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවීම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇත.
බීබීසී සිංහල සේවයට මේ බව දන්වා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, "ඔහු නැවත සේවයට පැමිණෙනවා. නමුත් පරීක්ෂණයක් පැවැත්වේවි" යැයි සඳහන් කළේය.
පෙබරවාරි 4 වෙනිදා ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අසළ විරෝධතාවක නියැලුණු පිරිසක් වෙත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 'ගෙල සිඳින ආකාරයේ'ප්‍රතිචාර දැක්වීමකට අදාළව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබිණි.
ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා (පෙබ.06) නිකුත් කළ නිවේදනයෙහි දැක්වුණේ අදාළ නිලධාරියා 'ආක්‍රමණශීලී ආකාරයෙන් හැසිරුනේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ හා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ දර්ශන කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය' යොමු වී ඇති බවය.
පෙබරවාරි 4 වෙනිදින ලන්ඩන් හි පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ නිදහස් දින සමරුව පැවැත්වෙද්දී ඒ අසළට රැස්වූ දෙමළ ජාතිකයින් පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණහ.
එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා, 'යමෙකුගේ ගෙල සිඳින ආකාරයේ සංඥාවක් කිරීම' එම උද්ඝෝෂණයේ යෙදී සිටි දෙමළ පුද්ගලයන් 'බියගැන්වීමක්' ලෙස හඳුන්වාදුන් බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක්, එම නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කොට ඔහු නෙරපා හරින ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළහ.