ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපයේ අනවසර පදිංචි කිරීමක් නෑ - නීතිපති
විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපය හෙළි කොට කිසිදු අනවසර පදිංචි කිරීමක් සිදු කර නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කළේය.
යුද්ධයෙන් අනාථ වූ ජනතාව නැවත පදිංචි කර තිබෙන්නේ විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපයෙන් බැහැර ප්‍රදේශයක බව සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, එසේ නැවත පදිංචි කිරීම් කළ ප්‍රදේශය සංරක්ෂිත වනාන්තර ප්‍රදේශයක් නොවන බව ද අධිකරණය හමුවේ පැවසීය.
රජයේ නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ ඉහත කී ප්‍රකාශය සිදු කළේ, විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය 2015 වසරේදී ඉදිරිපත් කළ පෙත්සමක් බ්‍රහස්පතින්දා (පෙබරවාරි 08) යළි සලකා බැලූ අවස්ථාවේදිය.
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය පිහිටා තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ බවත් එහෙත් නැවත පදිංචි කිරීම් සිදුකර තිබෙන්නේ එම වනාන්තර කලාපයෙන් බැහැර මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වනාන්තර ප්‍රදේශයක බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ පත්කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මගින් කරන ලද නිර්දේශයක් ප්‍රකාර, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළ බවත්, එම කාර්ය සාධක බලකායේ නිර්දේශ මත මන්නාරම ප්‍රදේශයේ අදාල නැවත පදිංචි කිරීම් සිදුකළ බවත් රජයේ නීතිඥවරයා අභියාචනාධිකරණය ඉදිරියේ පැවසීය.
නැවත පදිංචි කිරීම් සිදු කළ බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් චෝදනා කරන වනාන්තර ප්‍රදේශය මීට දශක කිහිපයකට ඉහතදී ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ බවත්, වසර ගණනාවක් ජනතාව එම ප්‍රදේශයෙන් බැහැරව සිටීම නිසා එම ප්‍රදේශ වනාන්තර බවට පත් වී ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
එසේ ජනතාව අතහැර ගිය ප්‍රදේශ හඳුනාගෙන ඒවා හෙළිකොට නැවත පදිංචි කිරීම් සිදුකරනැ ලද බව සඳහන් කළ රජයේ නීතිඥවරයා, ඔවුන් ඉවත් කරන මෙන් අධිකරණය නියෝගයක් ලබා දුනහොත්, එසේ නැවත පදිංචි කළ ජනතාවට සිදුවන්නේ යලි අනාථ කඳවුරු කරා යාමට බවද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
එහෙත් එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, දැනට හෙළිකොට නැවත පදිංචි කිරීම් සිදුකර තිබෙන වනාන්තර ප්‍රදේශ ද සංරක්ෂිත වනාන්තර ලෙස රජය මගින් 2015 වසරේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවය.
කෙසේ වුවත් 2015 ට පෙර අදාළ ප්‍රදේශය සංරක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර නොතිබූ බව එහිදී සඳහන් කළ රජයේ නීතිඥවරයා, ඊට දශක ගණනාවකට පෙර එම ප්‍රදේශ ජනතාවගේ වාස භුමි ලෙස පැවති බව ද පෙන්වා දුන්නේය.
මෙය ඉතා සංකීර්ණ කරුණක් බැවින් පුළුල් ලෙස කරුණු අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරු පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ජුනි මස පස්වන දින දක්වා කල්තැබිය.
මේ අතර විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර ඇතැයි පැවසෙන "අනවසර ජනාවාස" ඉවත් කොට එම ඉඩම් යළි රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය පසුගිය සතියේ අවසර ලබා දුන්නේය.
- අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
- හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ
- මධ්‍යම පරිසර අධිකාරිය
- සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණි.
මාර්තු 05 වෙනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන මෙන ඔවුන්ට නොතීසි නිකුත් කෙරිණ.
පෙර පුවත්: