ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ෆ්‍රේම් කරන්න බැරි ජීවිත ගැන යුක්තිය ඉල්ලන ප්‍රදර්ශනයක්"
2009න් පසුව බොහෝ දෙනා මගහැරීමට උත්සාහ කරන, එහෙත් යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් තවමත් ඉල්ලා සිටින 'යුක්තිය' පිළිබඳ දකුණේ ජනතාවට සන්නිවේදනය කිරීමේ වෙහෙසකර අභ්‍යාසයක තමන් ඇතුළු පිරිසක් යෙදී සිටින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂක සම්පත් සමරකෝන් පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණු ගැනත් "පශ්චාත් යුද ශ්‍රී ලංකාව - යුක්තිය සහ ජීවිතය" මැයෙන් පැවැත්වෙන ජයාරූප ප්‍රදර්ශනය ගැන අදහස් දක්වමිනි.
"මේක යුක්තිය ඉල්ලන ප්‍රදර්ශනයක්. පානම මිනිස්සු සිංහල, මුලතිව් අම්මල දෙමළ, තාමත් ඔවුන් මහපාරේ ඔවුන්ගේ දරුවෝ ඉල්ලලා. පානම මිනිස්සු පාරේ තමන්ගේ ඉඩම් ඉල්ලලා. උමා ඔයෙත් එහෙමයි," සම්පත් සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය.
"මේ ෆ්‍රේම් කරන්න බැරි ජිවිත දකුණට ගෙනල්ල අපි කියනවා අපිට යුක්තිය හොයලා දීපල්ලා කියලා."
තවත් කියවන්න:
අතුරුදහන්වූ සිය දරුවන් ඉල්ලා මාපියන් කරන අරගලය, සිය ඉඩම් ඉල්ලා මිනිසුන් කරන අරගලය, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා කරන අරගලය, අලුත්ගම ගැටුම, විවිධ විරෝධතාවලට සිදු වූ පහරදීම් යනාදී සිදුවීම්වලට අදාළ විවිධ ඡායාරූප, ජනවාරි 30 සහ 31 දිනවල කොළඹ ජේඩීඒ පෙරේරා කලාගාරයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි.
"අපි දන්නේ නැහැ ඡායාරූපයකින් අපිට යුක්තිය ලබාදෙන්න පුළුවන්ද කියලා, කිලිනොච්චියේ අම්මලට, පානම අම්මලට. නමුත් අපි බලකරන්නේ පාලකයන්ට බලධාරීන්ට මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්න කියලා."
"අපිට පුළුවන් අරගලයේ ස්වරූපයන් හා ජීවත්වීමේ රූප හරහා ජනයාට සම්මුඛ කරන්නට," විකල්ප වෙබ් අඩවියේ කර්තෘවරයා ද වන සම්පත් සමරකෝන් සඳහන් කළේය.
පිඩාවට පත්ව ඇති මිනිසුන්ට යුක්තිය ඉටුනොකර ගොඩනැගිලි, මංමාවත් ගොඩ නගා රට දියුණු කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සබැඳි යොමු: