ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිල්ලි දුමාරය: ශ්‍රී ලංකාවෙන් ජගත් පාලක මණ්ඩලයට "පැමිණිල්ලක් නෑ"
ඉන්දියාවේ දිල්ලි නුවර ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන් වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී හටගත් වාතාවරණය පිළිබඳව මේ වනතුරුම ශ්‍රී ලංකාවෙන් ජගත් පාලක මණ්ඩලය වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
දිල්ලි නුවර කොට්ලා ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් අපහසුතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජගත් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එහෙත් අමාත්‍යවරයාගෙන් හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ICC ජගත් පාලක මණ්ඩලය වෙත කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී නැති බව බීබීසී සිංහල සේවයට තහවුරු වී තිබේ.
කෙසේ නමුත් මේ සතියේ හටගත් වාතාවරණය වැනි තත්වයක් අනාගතයේදී උද්ගත වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා දෙන මෙන් වෛද්‍ය උපදෙස් කමිටුව වෙත යොමු කර තිබෙන බව ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි.
ජගත් පාලක මණ්ඩලය ඒ පිළිබඳව ලබන පෙබරවාරි මාසයේ සාකච්ඡා කිරීමට ඉඩ තිබෙන බව දICC ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ අතර දිල්ලි තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC යට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව විශ්වාස කටයුතු මාර්ගයකින් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.
අධික දුමාරය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවති තුන්වෙනි ටෙස්ට් තරගය වරින්වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබිණ.
සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වරින්වර නැවැත්වීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉරිදා (දෙසැම්බර් 03) මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයටලක් වී තිබිණ.
එදින ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා තිබිණ.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අඟහරුවාදා (දෙසැම්බර් 05) ක්‍රීඩාංගනයේදීම වමනය කිරීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක් වී තිබිණ.
එහෙත් මින් ඉදිරියට කොට්ලා ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වීමේ කිසිදු සැලසුමක් නොමැති බව බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.