ගිංතොට ගැටුම ; දැන් තත්වය සන්සුන්

ගාල්ල ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ සිකුරාදා (නොවැම්බර් 17) හටගත් නොසන්සුන් තත්ත්වය සෙනසුරාදා උදෑසන වන විට යහපත් අතට හැරුණු බව වාර්තා වෙයි.

දෙපිරිසක් අතර හටගත් නොසන්සුන් තත්ත්වය මත සෙනසුරාදා (නොවැ 18) උදෑසන නවය වනතෙක් ග්‍රාම සේවා වසම් හයක පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණ අතර මේවනවිට එය ඉවත් කරනු ලැබ ඇත.

කෙසේවුවද, ගිංතොට (නැගෙනහිර සහ බස්නාහිර) මහ හපුගල,වැලිපිටිමෝදර,උක්වත්ත,පියදිගම සහ කුරුඳුවත්ත යන ගම් ආවරණය කෙරෙන මට්ටමින් අද සෙනසුරාදා සවස හයේ පටන් පසුදින ඉරිදා උදේ හය වනතෙක් පොලිස් ඇඳිරි නීතිය යළිත් බල පැවැත්වෙයි.

කෙසේවෙතත්, එම සිදුවීමේදී ඇතැම් දේපළවලට ද හානි සිදු වී තිබිණි.

එම ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

රිය අනතුරක් මුල්කර ගත් සිද්ධියක් පදනම් කර ගනිමින් කලබල ඇති කිරීමට දායක වූ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සෙනසුරාදා පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සඳහන් කළේය.

සිකුරාදා පස්වරුවේ පොලිසිය නිවේදනය කළේ ප්‍රදේශය තත්ත්වය පාලනයට දෙසීයකට අධික පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ භටයන් සීයක් පමණ යෙදවූ බවය.

සමාජ මාධ්‍ය ජාල හා ප්‍රචාර

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ ඉහත කී සිදුවීම් පදනම් කර ගනිමින් ඇතැම් පුද්ගලයන් අසත්‍ය තොරතුරු පතුරුවා හරින බව වාර්තා වී ඇති බවය.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ එසේ අසත්‍ය තොරතුරු පතුරුවා හරින්නන් හඳුනා ගැනීම සඳහා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග දී ඇති බව පොලිසිය පවසයි.

මතුවූ තත්ත්වය සමනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ, අමාත්‍යවරුන්, නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා පස්වරුවේ ද සාකච්ඡා පැවැත්විණි.

එහිදී අමාත්‍ය වජිර අබේවර්ධන පැවසු පරිදි අදාළ සිදුවීම්වල දී නිවාස 66 කට පමණ හානි සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

සබැඳි පුවත;