"දෑස නොපෙනුණත් උත්සාහ කළොත් වරදින්නේ නැහැ"

දෘශ්‍යාබාධිත තත්ත්වය පසෙකලා අන් අයට බරක් නොවී ජීවිතය ජය ගැනීමට වෙර දරන තරුණයෙකු පිළිබඳ මහනුවර පමුණුව හංදෙස්ස ගම්මානයෙන් වාර්තා වේ.
තිස් තුන් හැවිරිදි රාජේන්ද්‍ර සිසිර කුමාර උපත ලබද්දී ඔහුට මද වශයෙන් පෙනී ඇත.
අධ්‍යාපනය සඳහා පමුණුව ප්‍රාථමික විද්‍යාලයට ගොස් ඇති ඔහු අන්ධ භාවයට පත් වීමත් සමග අලපලාවල විශේෂ අධ්‍යාපන ඒකකයට ඇතුළත් වී තිබේ.
තමන්ට බාල සොහොයුරෙකු සහ සොහොයුරියක සිටි බැවින් දෙමව්පියන්ට සහනයක් වීමට සිතා සිය පාසල් ගමන නතර කළ බව සිසිර කුමාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඒ අතර ඩ්‍රම්ස් වාදනය කිරීම සඳහා ඔහු පුහුණු වූයේ සිය අසල්වැසි මිතුරන්ගේ ආධාර ඇතිවය.
නිසි ඩ්‍රම්ස් කට්ටලයක් නොතිබුණු ඔහු ඒ සඳහා භාවිත කර ඇත්තේ තේ කොල පෙට්ටි උපයෝගී කර ගනිමින් නිවසේ තනාගත් සංගීත උපකරණය.
2002 වසරේ දී ප්‍රදේශයේ සිද්ධස්ථාන නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයකුට සිසිරගේ ඩ්‍රම්ස් වාදනය ඇසී ඒ පිළිබඳ අසල්වාසීන්ගෙන් කරුණු විමසා තිබේ.
සිසිරගේ දක්ෂතාව දුටු මාර්කෝ කැමි නමැති ඉතාලි ජාතිකයා ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත්තේ ඉන් අනතුරුවය.
ඔහු නැවත සිය රට බලා ගොස් අවස්ථා කිහිපයකදීම තමන්ට මුදලින් ආධාර කළ බව කී සිසිර කුමාර එම මුදල්වලින් පිත්තල භාණ්ඩ ඔප දැමීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගත් බව පැවසීය.
පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය මහනුවර පමුණුව ප්‍රදේශයේ ප්‍රධාන රැකියා මාර්ගයකි.
ඒ අනුව සිය දෙමව්පියන්ගේ ද සහාය ඇතිව පිත්තල භාණ්ඩ ඔප දැමීමේ නිරත රාජේන්ද්‍ර සිසිර කුමාර කියා සිටියේ සිය ස්වයං රැකියාව තවත් දියුණු කර ගැනීම තම ඉදිරි බලාපොරොත්තුව බවය.
"අනෙක් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ටත් මම කියන්නේ තමන්ගේ වැඩක් කරලා උත්සාහයෙන් නැගිටලා හිටියොත් ඒක හරියයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සබැඳි යොමු:













