"දෑස නැතත් සිහින සොයමි"

ඡායාරූප මූලාශ්‍රය, Parasports World
දෘශ්‍යාබාධිත තත්ත්වය පසෙකලා සිය ළමා වියේ සිහිනය ජය ගත් ඇමරිකන් ෆුට්බෝල් (American football) ක්‍රීඩකයෙකු පිළිබඳ එක්සත් ජනපදයෙන් වාර්තා වේ.
දොළොස් වෙනි වියේ දී සිය පෙනීම අහිමි වූ නමුත් කෙදිනක හෝ 'සදර්න් කැලිෆෝනියා' විශ්ව විද්‍යාලයේ ඇමරිකන් ෆුට්බෝල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ජේක් ඔල්සන් අධිෂ්ඨාන කර ගත්තේය.
ඒ අනුව යමින් ඇමරිකන් ෆුට්බෝල් තරගයක අවසාන පහර එල්ල කිරීම සඳහා පන්දුව පිළිගැන්වීමට ඔහු සහාය විය.
"එය ඉතාමත් අලංකාර මොහොතක්" යනුවෙන් පවසමින් විසි හැවිරිදි සිසුවා සිය අත්දැකීම විස්තර කළේය.
ඇසේ පිළිකා තත්ත්වයක් හේතුවෙන් පෙනීම අහිමි වීමට පෙර, ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩා කිරීම කුඩා ජේක්ගේ ළමා වියේ සිහිනයක් විය.
පෙනීම අහිමි වූ නමුත් සිය සිහිනය අත්හැර දැමීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
'වෙස්ට් මිචිගන්' විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ අවසන් ලකුණ ලබා ගැනීම සඳහා සිය දෙපා අතරින් පන්දුව පිළිගන්වමින් පා පහර එල්ල කිරීමට සිය සගයෙකු වෙත පන්දුව ලබා දීමට ජේක් සහාය විය.
හැත්තෑ දහසක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ

ඡායාරූප මූලාශ්‍රය, Twitter
හැත්තෑ දහසක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ජයග්‍රහණය සැමරූ ඔහු කියා සිටියේ "ඒක හරිම විශිෂ්ට හැඟීමක්. කවදාවත් මට එය අමතක වෙන්නේ නැහැ" යනුවෙනි.
සබැඳි යොමු:
ජේක් 'සදර්න් කැලිෆෝනියා' විශ්ව විද්‍යාලයීය ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩා වැඩසටහනට සම්බන්ධ වී ඇත්තේ 2009 වසරේදීය.
එම කණ්ඩායමට ඔහු දක්වන සහාය සහ ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිබඳ එම කණ්ඩායමේ හිටපු පුහුණුකරු පීට් කැරොල්ට අසන්නට ලැබී ඇත.
ජේක් උපත ලබා මාස දහයක් ගත වෙත්ම ඔහුට ඔහුගේ වම් ඇස අහිමි වී තිබේ. එමෙන්ම දොළොස් වෙනි වියේ දී ඔහුගේ දකුණු ඇස ද ඉවත් කෙරිණි.
සිය පෙනීම අහිමි වීමට පෙර දින රාත්‍රියේ ශල්‍යකර්මය සඳහා යාමට පෙර ජේක්ගේ අවසාන පැතුම වී ඇත්තේ 'සදර්න් කැලිෆෝනියා' විශ්ව විද්‍යාලයීය ඇමරිකන් ෆුට්බෝල් කණ්ඩායම පුහුණු වන ආකාරය දැක බලා ගැනීමය.
ආබාධිත මළල ක්‍රීඩකයන් සඳහා ලබා දෙන ශිෂ්‍යත්වයක් යටතේ විශ්ව විද්‍යාලයට පිවිස ඇති ජේක් ඔල්සන් 2015 වසරේ සිට එහි ඇමරිකන් ෆුට්බෝල් කණ්ඩායම හා පුහුණු වීම්වල නියැලෙයි.











