පොල් මිල දිනෙන් දින ඉහළ යන්නේ ඇයි?

පොල්

පොල් මිල පාලනය කිරීම පිණිස පොල් ගෙඩි ලක්ෂ දහයක් වහාම වෙළෙඳපොලට මුදා හරින බව පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කරයි.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල සඳහන් කරන ආකාරයට මේ තත්වයට ප්‍රධාන හේතුව අනවශ්‍ය ප්‍රචාරයය.

රටේ පොල් හිඟයක් පවතින බවට පළවන ප්‍රචාරය හේතුවෙන් පොල් වෙළෙඳාමේ නිරත අතරමැදියන් සැලසුම් සහගතව මිල වැඩිකර කලු කඩ මිලක් නිර්මාණය කර තිබෙන බව ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

"පොල් හිඟයට නියඟය බලපෑ බවට විශාල ප්‍රචාරයක් ගෙනියනවා. නමුත් නියඟයේ බලපෑම තියෙන්නේ සියයට දාහතක් පමණයි. එසේම පොල් ආශ්‍රිත කර්මාන්ත සදහා සියයට පහක වැඩිපුර ඉල්ලුමක් තියනවා. මෙයත් පොල් අඩුවීමට හේතුවුනා," යනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල නියඟයේ බලපෑම පොල් මිල ඉහළ යාමට හේතු වූ අයුරු පැහැදිලි කළේය.

පොල් ආනයනය

කෙසේ නමුත් පොල් මිල පාලනය කිරීම පිණිස කිසිදු ලෙසකින් විදේශවලින් පොල් ආනයනය නොකරන බව සභාපතිවරයා අවධාරණය කළේය. එසේ පොල් ආනයනය කිරීම මගින් එම රටවල ඇති පොල් ආශ්‍රිත රෝග "නොමිලේම" ශ්‍රී ලංකාවේ පොල් වගාවටද ව්‍යාප්ත වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ ස්ථාවරයය.

වීඩියෝ ශීර්ෂ වැකිය, "පොල් හිඟයට ප්‍රධාන හේතුව නියඟය"

"පහුගිය රජය පොල් පිටරටින් ගෙන්නුවා. මොකද වුනේ පොල් රෝග කීපයක්ම ලංකාවට ආවා. අපි ඒ මෝඩකම කරන්නේ නැහැ. මේ තත්වය නොවැම්බර් පොල් මුරයත් සමග අවසන්. ඒ නිසා ජනතාව ඒ තත්වය අවබෝධ කර ගත යුතුයි. මොකද ලෝකයේ හොඳම පොල් තියෙන්නේ ලංකාවේ. අපි ඒ තත්වය දිගටම ආරක්ෂා කර ගත යුතුයි," සභාපතිවරයා පැවසීය.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල පවසන අන්දමට පොල් හිඟය ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ දිස්ත්‍රික්ක තුනකටය.

ඒ කොළඹ, මාතර සහ හම්බන්තොටය. එම දිස්ත්‍රික්ක තුනේ ජනතාවගේ පොල් අවශ්‍යතාවය සැපිරීම සඳහා ඉදිරි දින කීපය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජය ඉදිරි දින කිහිපය තුළ පොල් ගෙඩියට මිලක් නියම කිරීමට නියමිත බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කරයි.

පසුගිය පොල් වෙන්දේසියට අනුව පොල් ගෙඩියක තොග මිල රුපියල් හතලිස් නවයක් වූ අතර බෙදාහැරීම සඳහා රුපියල් දහයක් හා සිල්ලර වෙළදාම සඳහා රුපියල් දහයක් ලබා දුන් විට පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් හැත්තෑවක් විය යුතු වේ.

පොල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නමුත් මේ වන විට සිල්ලර වෙළෙඳපොලේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් සියය දක්වා ඉහල නැග තිබේ.

පොල් ත්‍රිකෝණයේ පිහිටි ප්‍රධාන නගරයක් වන හලාවත ප්‍රධාන වෙළෙඳ පොලේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල බදාදා (සැප්තැම්බර් 27) රුපියල් හැත්තෑවත් අසූවත් අතර මුදලක් වූ අතර දහවල් එක වන විට එක මාලු පොල් ගෙඩියක් හෝ දක්නට නොමැති වූ බව බීබීසී වාර්තාකරුට හමු වූ පාරිභෝගිකයන් මෙන්ම වෙළෙඳුන් ද පැවසූහ.

පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව නියඟය බව පවසන වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ, පොල් මිල පාලනය කිරීම පිණිස රජය මැදිහත් විය යුතු බව ද සඳහන් කරති.

පොල් මිල පාලනය සදහා රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව පවසන හලාවත ප්‍රධාන පොල් ව්‍යාපාරිකයෙකු වන එල් ඒ ගුණරත්න, තාවකාලික විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවට පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන මෙන් රජයට යෝජනා කරන බව බීබීසී සිංහල සේවයට පැවසීය.

හලාවත ප්‍රධාන වෙළෙඳ පොලේ වෙළෙන්දියක් වන සමන්ති ප්‍රියදර්ශනී, පාරිභෝගික කාන්තාවක් වන කාන්ති වනසිංහ, තවත් වෙළෙන්දියක් වන යසවතී ප්‍රනාන්දු, තොග වෙළෙන්දෙකු වන ලහිරු ලක්මාල් සහ එල් ඒ ගුණරත්න බීබීසී සිංහල සේවය සමග පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයේ දැක්වේ.