සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම

කන්තලේ ගන්තලාව ප්‍රාථමික පාසල වෙත අකුරු කිරීමට පැමිණෙන දරු දැරියන් අත සිය පොත් බෑගය සහ වතුර බෝතලයට අමතරව තවත් දෙයක් වෙයි.
ඒ ටැබ්ලට් පරිගණකයක්, වීඩියෝ ගේම් යන්ත්‍රයක් හෝ සෙල්ලම් බඩුවක් නොව පොල්කටු මල්ලකි.
"ඔය දරුවෝ දින පතාම උදේ පාසලට එන කොට පොල් කටු පහක් අරගෙන එන්න ඕනෑ. හැබැයි පොල් කටු පහකට වඩා ගේන්න එපා."
ගන්තලාව ප්‍රාථමික පාසලට අලුතින් පත්ව ආ විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා එහි අධ්‍යාපනය ලබන පන්සිය දොළහක් වන සිසු සිසුවියන්ගෙන් එසේ ඉල්ලා සිටියේ ඉකුත් අප්‍රේල් මස විසි හය වෙනිදාය.
පාසලේ ප්‍රධාන ශාලාවේ වේදිකාව ආවරණය කිරීම සඳහා අලුතින් තිරයක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම එහි අරමුණයි.
විදුහල්පතිනිය පවසන පරිදි තිර රෙද්ද සඳහා වැය වන මුදල රුපියල් එක් ලක්ෂ තිස් පන්දහස් පන්සිය විසි පහකි.
ගුරු මෑණියන්ගේ ඉල්ලීම අනුව යමින් දරු දැරියෝ පොත් බෑගය උර ලා එක් අතකින් වතුර බෝතලයත් අනෙක් අතින් සිලි සිලි මල්ලක දැමූ පොල් කටු පහත් රැගෙන පාසලට ආවේ අපහසුවකින් තොරවය.
පරිසරය සුරකීම

පොල් කටු ගබඩා කිරීම සඳහා පාසල් මිදුලේ වෙනම මඩුවක් ඉදි වූයේ ඒ අනුවය. පොල් කටු එකතු කිරීමේ මධ්‍යස්ථානය යනුවෙන් සඳහන් දැන්වීමක් ද එහි අලවනු ලැබීය.
පොල් කටු ලබා දී සිලි සිලි මල්ල ගුලි කර පොත් බෑගයට දමා ගන්නා දරුවෝ අනතුරුව අකුරු කිරීම ආරම්භ කරති.
"සිලි සිලි මලු ආපසු රැගෙන යා යුතු අතර ප්‍රයෝජනයට ගත නොහැකි වූ පසු ඒවා නිවසේ වෙනම තැනක එකතු කළ යුතුය," ඒ පරිසරය සුරකීම හුරුකරවීම සඳහා පාසල් ගුරුමාපියන්ගෙන් ලැබුණු ඔවදනකි.
අගෝස්තු 04 වෙනි දින වන විට පොල් කටු එකතු කිරීමේ මධ්‍යස්ථානය තුළ එක් රැස් වූ පොල්කටුවල බර කිලෝග්‍රෑම් 3,260 කි.
කලින් පොරොන්දු වූ ගැනුම් මිල පොල්කටු කිලෝවකට රුපියල් 11.50 වූ නමුත් දරුවන්ගේ අරමුණ වටහා ගත් වෙළෙන්දා පොල්කටු කිලෝවක් රුපියල් 14 බැගින් මිලට ගත්තේය.
විදුහල්පතිනිය පවසන පරිදි ඉන් පාසලට ලැබුණ මුදල රුපියල් 45,640 කි.
"මුලදී අමාරු වුණා"

"ඇත්තටම මේක සරල වැඩක් නොවෙයි. 'පෝල් කට්ටක් එකතු කරල මොනවද කරන්න පුළුන්? මහ පිස්සු ටීචර් කෙනෙක්', ඔය විදියට සමහරු මුලදී කිව්වා. හැබැයි මව්පියන් කිහිප දෙනෙක් මාව උනන්දු කළා. පොල්කටු තොගය විකුණලා ලොකු මුදලක් ගත්තනේ. ඊට පස්සේ තමයි කාට කාටත් උනන්දුවක් ඇති වුනේ," යනුවෙන් විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා පැවසුවාය.
ගන්තාලාව ප්‍රාථමික විදුහලේ ඉගනුම ලබන දරුවන්ගේ අහිංසක බලාපොරොත්තුව පිළිබඳ අසන්නට ලැබුණු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පසුව ඒ සඳහා වැය වන මුදල පාසල වෙත ලබා දීමට කටයුතු කළ බවත් විදුහල්පතිනිය කියා සිටියාය.
පොල් කටු අලෙවි කර ලබාගත් ආදායම සහ ඉන් අනතුරුව පරිත්‍යාගශීලීන් පාසල වෙත ලබා දීමට පොරොන්දු වී ඇති ආධාර මුදල් අනුව ලක්ෂ නමයක පමණ වැඩ කොටසක් කිරීමට හැකි වනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එහෙත් තිරය පිටුපස වෙනත් අරමුණු රැසක් තිබූ බව ඇය පෙන්වා දෙන්නීය.
සමගිය බලය වේ

"මෙය දරුවන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කිරීම සඳහා අත්හදා බලන ව්‍යාපෘතියක්. සමඟියෙන් එකමුතු කමෙන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළොත් ඉතා සුළු දෙයකින් පවා හොඳ ප්‍රතිඵලයක් නෙළා ගන්න ප්‍රුළුවන් කියා දැන් අපේ ළමයි දන්නවා."
"සමහර දෙමාපියන් මට යෝජනා කළා අත් ට්‍රැක්ටරයකින් පොල් කටු එකතු කරමු කියලා. මම එකහෙලාම කිව්වේ දරුවන් රැගෙන එන පොල් කටු පහ පමණක් හොඳටම ප්‍රමාණවත් බව"
"තවත් විශේෂ කාරණයක් තමයි මේ ප්‍රදේශ වල බහුලව පවතින ඩෙංගු උවදුරට යම් පමණක හෝ පිළියමක් සෙවීමත් මගේ අරමුණක් වුනා. සෑම ගෙවත්තකම පොල් කටු විසි කරලා. වැඩිහිටියන්ගේ කිසිම අවධානයක් නෑ. හිස් පොල් කටු වල වතුර එකතු වෙනවා."
තමන් පළාත් අධ්‍යාපන කාර්යාලය වෙත ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවේ ඒ පිළිබඳවත් සඳහන් කළ බව කී ගන්තලාව ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා, ගුරුවරයා යනු පාඩම් පොතට පමණක් සීමා නොවුන නිර්මාණශීලී අයෙකු විය යුතු බව සඳහන් කළාය.









