ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බ්ලූ වේල් ': කළ යුත්තේ කුමක්ද?
අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කර අවසානයේ සිය දිවි හානි කර ගැනීමට අනුබල දෙන 'බ්ලූ වේල්' නමැති අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳ මේ දිනවල වාර්තා පළ වෙමින් පවතී.
රුසියාවේ සිය දිවි නසා ගත් නව යෞවනයන් සමහරකුගේ මරණ හා ඉහත කී ක්‍රීඩාව අතර සම්බන්ධයක් පවතින බවට වාර්තා පළ වන නමුත් ඒ බව නිශ්චිතව සනාථ වී නොමැත.
එමෙන්ම එම ක්‍රීඩාව හා සම්බන්ධ සිය දිවි නසා ගැනීම් අසල්වැසි ඉන්දියාවෙන් ද වාර්තා වන නමුත් ඒ බව මෙතෙක් සනාථ වී නොමැති බව එරට බලධාරීහු පවසති.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයෙන් කළ විමසීමක දී එහි ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ එම ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලි ලැබී නොමැති බවය.
'බ්ලූ වේල්' ක්‍රීඩාවට අනුව එක් එක් පුද්ගලයන්ට දින 50 ඇතුළත අභියෝග මාලාවක් සම්පූර්ණ කිරීමට අන්තර්ජාලය ඔස්සේ ආරාධනා කරයි.
ක්‍රමයෙන් එම අභියෝගවල හානිකරභාවය වැඩි වන අතර අවසානයේ සිය දිවි හානි කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වේ.
ඉහත කී ක්‍රීඩාව සමාජ ජාල ඔස්සේ ලොව පුරා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙමින් පවතී.
'බ්ලූ වේල්' යනු කුමක්ද?
බ්ලූ වේල් ක්‍රීඩාවේ ආරම්භය පිළිබඳ ව්‍යාකුල තත්ත්වයක් පවතින නමුත් හිතා මතාම වෙරළ වෙත පීනා ඇවිත් මරණයට පත් වන ඇතැම් නිල් තල්මසුන් හා සම්බන්ධ සංසිද්ධියක් යොදා ගනිමින් එය එසේ නම් කර ඇති බව විශ්වාස කෙරේ.
දින 50 කාලය තුළ අදාළ අභියෝග සම්පූර්ණ කිරීමට ඊට සම්බන්ධ වන පුද්ගලයන් දිරිමත් කිරීම සඳහා 'බ්ලූ වේල්' නමැති අන්තර්ජාල කණ්ඩායම විසින් නිරීක්ෂකයෙකු පත්කරනු ලබන බවත් පැවසේ.
අතිශය දරුණු වීඩියෝ දර්ශන හෝ භීතිය දනවන චිත්‍රපට (Horror film) නැරඹීමෙන් ආරම්භ වී වඩාත් භයානක, ඇතැම් විට සිය දිවි නසා ගැනීමට හේතු වන ආකාරයේ කාර්යයන් එම අභියෝග අතරට එක් වන බව විශ්වාස කෙරේ.
මෙවැනි අන්තර්ජාල කණ්ඩායම් වෙත නැඹුරු වන නව යෞවනයන් අවසානයේ මානසික සෞඛ්‍යය හා සම්බන්ධ ගැටලුවලට මුහුණ දීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.
ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද?
බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ළමුන් වධ හිංසාවලින් වළකා ගැනීමේ ජාතික සංසදය පවසන පරිදි බ්ලූ වේල් වැනි පීඩාවට පත් කරන අන්තර්ජාල කණ්ඩායම් වෙත නැඹුරු වන දරුවන් තුළ දැකිය හැකි ඇතැම් වෙනස්කම් සහ ලක්ෂණ පහත දැක්වේ.
- හැසිරීමේ ගුප්ත ස්වභාවයක් ගැනීම. විශේෂයෙන් අන්තර්ජාලය තුළ සිදු කරන කටයුතු සඟවා තැබීමට උත්සාහ කිරීම
- අන්තර්ජාලය සහ සමාජ ජාල තුළ වැඩි වශයෙන් කාලය ගත කිරීම
- දෙමව්පියන් හෝ වැඩිහිටියන් පැමිණෙන විට තිරය මත වෙනත් දෙයක් විවෘත කිරීම
- අන්තර්ජාලය භාවිත කිරීමෙන් පසු හෝ ඒ ජංගම දුරකතන පණිවුඩයක් යැවීමෙන් අනතුරුව පසුබා සිටීම හෝ කෝපයට පත් වීම
ශ්‍රී ලංකාව තුළ තත්ත්වය කුමක්ද?
මේ අතර ශ්‍රී ලංකාව තුළ සමාජ ජාල භාවිත කරන පාසල් දරුවන් සහ නව යෞවනයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.
ඒ හා සමානව පාසල් දරුවන් සහ නව යෞවන වියේ පසුවන තරුණ තරුණියන් සයිබර් අවකාශය තුළ හිරිහැරයට ලක් වන අවස්ථා ඉහළ යාමේ ප්‍රවණතාවක් ද දක්නට ඇත.
ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන් සිය දිවි නසා ගැනීමට යොමු වීමේ ප්‍රවණතාව ඉහළ යන ආකාරයක් දක්නට ඇති බවට මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.
තරග විභාගවලට මුහුණ දීමේ දී ඇති වන පීඩනය, ආදර සබඳතා බිඳ වැටීම් සහ දෙමව්පියන් සමග ඇතිවන ගැටුම් දරුවන් දිවි නසා ගැනීමට හෝ ඊට උත්සාහ කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන බව පානදුර මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රංජනී සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
විශේෂඥ මනෝ වෛද්‍ය රංජනී සෙනෙවිරත්න පවසන පරිදි ඊට හේතුවන මානසික තත්ත්වයන් පහත දැක්වේ.
- විෂාදය (Depression)
- ආවේගය (Impulsivity)
හඳුනා ගන්නේ කෙසේද?
ඊට ගොදුරු වූ දරුවන් තුළ හැසිරීමේ යම් වෙනස්කම් දැකිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන්නීය.
"විෂාදය තියන අයට අධික කේන්ති යන ස්වභාවයක් තියෙන්න පුළුවන්. නින්ද නොයා තියෙන්න පුළුවන්. දෙමව්පියන් සහ යහළුවන් සමග සමීපව සිටි අය ඈත් වෙන ස්වභාවයක් දක්නට පුළුවන්. එපා වෙච්ච කතා නිතර කියන්න පුළුවන්" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"ආවේගය කියන දේ ක්ෂණික කෝපයත් සමග ඇති විය හැකියි. ඊට බලපාන්නේ ඒ පුද්ගලයාගේ පෞරුෂය. ක්ෂණික තීරණ ගන්න, ක්ෂණිකව කෝප වෙන, පීඩනය දරා ගන්න බැරි අය තමයි සිය දිවි නසා ගැනීම වෙත යොමු වෙන්නේ"
කළ යුත්තේ කුමක්ද?
මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම දෙයාකාරයකට කළ හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රංජනී සෙනෙවිරත්න පෙන්වා දෙන්නීය.
"එකක් දෙමව්පියන් දැනුවත් කිරීම. අනික දරුවන් දැනුවත් කිරීම,"
පෞරුෂය දුර්වල මට්ටමේ පවතින දරුවන් බ්ලූ වේල් වැනි මනසට අහිතකර ක්‍රීඩා වෙත යොමු වීමේ ඉඩකඩ වැඩි බව කී වෛද්‍යවරිය දෙමව්පියන් විසින් සිය දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීම පිළිබඳ දැනුවත් විය යුතු බව සඳහන් කළාය.
එමෙන්ම දෙමව්පියන් සිය දරුවන් සමග විවෘතව කතා කළ යුතු බවත් ආවේගයක් ඇති වූ අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දිය යුතු බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රංජනී සෙනෙවිරත්න වැඩිදුරටත් පැවසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසරේ නිකුත් කළ වාර්තාවලට අනුව 2015 වසරේ ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීමේ අනුපාතය ලක්ෂයකට 35.3 කි.
ඒ අනුව සිය දිවි නසා ගැනීම් වැඩි වශයෙන් වාර්තාවන දකුණු සහ නැගෙනහිර ආසියාවේ රටවල් අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසු වේ.