ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුස්ලිම් අන්තවාදීන්ගෙන් ඉස්ලාම් දහම රැකගන්න - කබීර් හෂීම්
ඉස්ලාම් ආගම වෙනුවෙන් පෙනී සිටින බව පවසන අන්තවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් ලොව පුරා මුස්ලිම් ජනතාවට එරෙහිව විරෝධයක් මතු වී තිබෙන බව පවසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම මුස්ලිම් ජනතාවගේ යුතුකමක් බව පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාමසාන් උපවාසය අවසන් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට වාර්ෂික දිවා භෝජන සංග්‍රහය පැවැත්වූ අවස්ථාවේ අදහස් දක්වමිනි.
"මේක මුස්ලිම්වරුන්ට ඉතාම අභියෝගමත් කාලයක්," යනුවෙන් සඳහන් කළ අමාත්‍ය කබීර් හෂීම්, "ලෝකය පුරාම ඉස්ලාම් ධර්මයට එරෙහිව විශාල ප්‍රචාරයක්" ගෙනයමින් පවතින බවත් පැවසීය.
"විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළම ඉඳගෙන අන්තවාදී කොටස් මුස්ලිම් ප්‍රජාවට අපකීර්තිය ඇතිකරන කොට, ඉස්ලාම් ධර්මයටම වැරදි අර්ථකථනයක් ඇතිකරමින් ජාත්‍යන්තර වශයෙන් ලොකු කුමන්ත්‍රණයක් අපේ ආගමට විරුද්ධව ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනව ඇත්තටම ඉස්ලාම් ධර්මය කුමක්ද කියන එක ලෝකෙට පෙන්වා දෙන්න."
ටීබී ජායා ගේ පුරෝගාමිත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය සිංහල මහා සභාව සහ ද්‍රවිඩ කොංග්‍රසය වැනි සංවිධාන සමග එක්ව ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම පිණිස සටන් වැදුණු ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, දුරාතීතයේ පටන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සිංහල රජවරුන් සමග එක්ව ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදුණු ආකාරයත් පෙන්වා දුන්නේය.
"මේ වෙලාවෙ අපේ ආගමට ධර්මයට අභියෝග තියෙන කොට අපි හැමකෙනාටම වගකීමක් තියෙනව ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට මේ රට වෙනුවෙන් අපේ යුතුකම් හරියට ඉෂ්ඨ කරන්න," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
රාමදාන් උපවාසය නිමාකිරීම සනිටුහන් කරමින් මහර බන්ධනාගාර රැඳවියන්ට දිවා භෝජනය ලබා දී ආගමික වතාවත් ඉටුකිරීම හැට වසරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය වාර්ෂිකව සිදු කරන පුණ්‍ය කර්මයකි.
තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා බන්ධනාගාර නේවාසිකයන් පුනරුත්ථාපනයෙන් පසුව යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ දී යම් යම් ගැටළුකාරී තත්ත්වයන් පැන නැඟී තිබෙන බව ද පැහැදිළි කළේය.
ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කොට දීර්ඝ දඩුවම්වලට යටත් සිරකරුවන්ට නෛතිකව සමාව ලබා සමාජ ගතවීමට අවස්ථාව උදාකිරීම පිණිස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය කබීර් හෂීම් වැඩිදුරටත් පැවසීය.