ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පළමුව ගංවතුර - දෙවනුව වසංගත රෝග
ගංවතුර උවදුරෙන් අනතුරුව රට පුරා වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවට වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටියේ ,පූර්ව ආරක්‍ෂිත පියවරක් ලෙස කඳවුරුගත ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට පියවර ගෙන ඇති බවය.
ජල මූලාශ්‍ර අපවිත්‍රවී ඇති බැවින් උණුකර නිවාගත් ජලය හෝ බෝතල් වතුර පමණක් පානයට ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
අවදානම් කාල සීමාව පහව යනතුරු අමුවෙන් ආහාරයට ගන්නා පලතුරු හෝ පලා වර්ග පරිභෝජනයෙන් වැළකී සිටීම ඉතා යෝග්‍ය බව වෛද්‍යවරයා පැවසීය.
'මී උණ'
එමෙන්ම නිකරුණේ ජලයට බැස සිටීමෙන් වළකින ලෙසද ඔහු අවවාද කරයි.
ඔහු කියා සිටියේ ගංවතුරට බැස සිටීමේදී පාදයේ ඇති සීරීම් හෝ සමේ ආසාදනයන් හරහා විෂබීජ ශරීරගතවී 'මී උණ' වැළඳීමේ අවදානමක් පවතින බවය.
ගංවතුර බැස ගිය පසු ළිං වතුර පානයට ගැනීමට පෙර ක්ලෝරීන්කරණය කොට ළිං පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පවසයි.
පොලිතින් සහ හිස් බෝතල්
අවතැන් වූවන් සඳහා වතුර බෝතල් සහ බත් පාර්සල් ලැබෙමින් පවතින හෙයින් පොලිතින් සහ හිස් බෝතල් පරිසරයට අනාරක්ෂිතව මුදා හැරීම මගින් ඩෙංගු මදුරුවන්ට හිතකර ස්ථාන බිහිවීම සිදුවිය හැකි බවටද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අනතුරු අඟවයි.
එම නිසා හිස් බෝතල් සහ පොලිතින් ඉවත දැමීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත්වන ලෙස විපතට පත් ජනතාවගෙන් සහ සහන සේවකයන්ගෙන් ඔහු ඉල්ලා සිටී.