IPL: මහේල, මාලිංග තරගය වෙනස් කළා - තෙන්ඩුල්කාර්

Sachin Tendulkar

මේ වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායම සමත්විය.

ඉරිදා රාත්‍රියේ පුනේ (Pune) කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

පළමුවට පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම ලකුණු 129කට සීමාවූ අතර පිළිතුර ඉනිම ක්‍රීඩා කළ පුනේ කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 128ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග එම කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නාය.

Mahela Jayawardene

ඡායාරූප මූලාශ්‍රය, AFP

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරන ලෝක පූජිත ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තම කණ්ඩායමේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංගගේ දායකත්වය අගය කළේය.

"තරගයේ පළවෙනි භාගය අපිට එතරම් හොඳ තත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා විවේකය වෙලාවේ අපි එකතු වෙලා කථා කළා. ඒ වෙලාවේ මහේලත් හොඳ ලස්සන කතාවක් කළා," සචින් තෙන්ඩුල්කාර් පැවසීය.

ඒ කවරක්දැයි හෙළි කළ නොහැකි බව සඳහන් කළ තෙන්ඩුල්කාර්, ඉතාමත් දැඩි පීඩනයක් එල්ල වී තිබූ අවස්තාවක අති දක්ෂ ලෙසින් පන්දු යැවීමක සහ පන්දු රැකීමක යෙදෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කළ බවත් සඳහන් කළේය.

Lasith Malinga

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලසිත් මාලිංග පිළිබඳව වීමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ : "එකපාරක් චැම්පියන් කෙනෙක් කියන්නේ හැමදාමත් චැම්පියන් කෙනෙක්," යනුවෙනි.

"අවුරුදු දහයක් තිස්සේ මාලිංග අපිට අවශ්‍ය වෙලාවේ අපිට අවශ්‍ය දේ ලබාදුන්නා. මාලිංග කියන්නේ තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්," සචින් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් පැවසීය.