ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාවික හමුදාපතිට උසාවි නියෝගයක්
පසුගිය රජය සමයේ කොළඹ දී පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් පස්දෙනෙකු රහස් පොලිසිය වෙත ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාට නියෝග කළේය.
මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය කළේ රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
2008 වසරේ කොළඹ ප්‍රදේශයේ දී දමිළ ජාතිකයින් දෙදෙනකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිසිය, එම පැහැර ගැනීම් වලට වැලිසර නාවික කඳවුරේ කණ්ඩායමක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළේය.
අදාළ පරීක්ෂණ සඳහා නාවික හමුදාපතිවරයා තමන්ට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන බව රහස් පොලිසිය පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි.
එවැනි පසුබිමක් යටතේ අද (මැයි 16) අධිකරණයෙන් ඉල්ලීමක් කළ රහස් පොලිසිය, එකී පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ සඳහා වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා භටයන් පස් දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
අදාළ නාවික හමුදා නිලධාරීන් පොලිසියට ඉදිරිපත් කරන මෙන් නාවික හමුදාපතිවරයාට නියෝග කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මුලින් කී නියෝගය නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවෙන වැලිසර නාවික කඳවුරේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී ධම්මික අනිල් මාපා ලබන තිස්වෙනි දිනතෙක්(මැයි 30) තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් නියෝග කළේය.