චෝදනා ප්‍රතිචෝදනා මැද තවත් මැයි දිනයක්

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/FB
වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවට සහන රැසක් ලබා දී ඇති අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු සේවිකාවන්ට දින අසූ හතරේ ප්‍රසූත නිවාඩුව ස්ථීර වශයෙන් ලබා දීම සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවැත්වුන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අමතමිනි.
අද ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවලින් බලපෑම් එල්ල නොවන රාජ්‍යයක් බවට පත්ව ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.
"අද අපට ලෝකයේ කිසිම රටකින් ඇඟිලි ගැසීමක් නැහැ. ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නැහැ"ජනාධිපතිවරයා පවසයි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ චෝදනා එල්ල වුවත් ජාත්‍යන්තර අභියෝග ඉවත් කර ගැනීමට "සම්මුතිවාදී ආණ්ඩුව" හේතු වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් ඉවත් කරනු ලැබීම පක්ෂය දෙකට කැඩීමක් යයි පැවසෙන නිවේදනයක් මම දැක්කා .එසේ පවසන්නේ අලුත් දේශපාලන පක්ෂයක් හදාගෙන වෙනත් තැනක මැයි දිනය පවත්වන පක්ෂයේ කිසිදු සංවිධාන කටයුත්තකට සහභාගී නොවන පුද්ගලයන්" යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, United National Party/FB
කොළඹ කැම්බල් පිටියේ පැවැත්වුන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතා කතා කළ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල තෙල් ගබඩා කිරීමට ඉන්දියාවට අවස්ථාව දෙන බව පවසමින් එමගින් රටට ආර්ථික වාසියක් අත්වෙන බව සඳහන් කළේය.
රටේ ආර්ථිකය කඩා වැටෙන බවක් ඒකාබද්ධ විපක්ෂය කියා සිටියත් ආණ්ඩුව සංවර්ධන මාවතට ප්‍රවේශ වී ඇති බවත් අගමැතිවරයා කියා සිටියේය.
වෙන්දේසි සහ බන්දේසි ආණ්ඩුවක්

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Rajapaksa/FB
ගාලු මුවදොර පිටියේ පැවත්වුන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය අමතා කතා කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්තමාන ආණ්ඩුව "වෙන්දේසි සහ බන්දේසි ආණ්ඩුවක්" හැටියට විග්‍රහ කළේය.
හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජාතික සම්පත් විදේශ රටවලට විකුණා දමන බවට ආණ්ඩුවට චෝදනා කරමිනි.
පලාත්පාලන මැතිවරණ කල් දමනු ලැබීමත් හිටපු ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.
දෙපාර්ශ්වයටම චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake/FB
මේ අතර කොළඹ බී.ආර්.සී. පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය අමතා කතා කළ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, වත්මන් ආණ්ඩුවත් පසුගිය රජයත් දැඩි විවේචනයට ලක්කරමින් දේශීය සම්පත් වෙනත් රටවලට විකුණා දමන බවට එම දෙපාර්ශවයටම චෝදනා කළේය.
දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැළිය අම්පාර, අක්කරෙයිපත්තුවේ පැවැත්වුනි.
ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා විස්සකට අධික පෙළපාලි සහ රැස්වීම් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබුණ අතර ඉන් වැඩිම සංඛ්‍යාව පැවැත්වුනේ කොළඹයි.








