ඉන්ධන වර්ජනය: "ජනාධිපතිගෙන් ලිඛිත ප්‍රකාශයක් අවශ්‍යයි"

ශ්‍රී ලංකා ඉන්ධන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංරක්ෂිත ඡායාරූපයක්

සිය ඉල්ලීම් ලබා දෙන බවට ජනාධිපතිවරයා ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන තුරු වැඩවර්ජනය අත් නොහරින බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට චෝදනා කරන ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුව සිටී.

ඉන්දියන් තෙල් සමාගමට අදාළ තෙල් ටැංකි ලබා නොදෙන බව විෂය භාර ඇමතිවරයා පවසා ඇතත් ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන තෙක් එය පිළිගත නොහැකි බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති අතර අද (අප්‍රේල් 24) එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡා තාවකාලිකව නවතා ඇති අතර විෂය භාර ඇමතිවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට නියමිතය.

දිගු පෝලිම්

ඇමතිවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ තවමත් අමාත්‍යංශයේ රැඳී සිටිති.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්ධන වර්ජනය ගැන ජනතා අදහස්

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති දියත් කළ වැඩවර්ජනය හමුවේ තෙල් පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ඇත.

ඉන්ධන අවසන් වීම හේතුවෙන් රට පුරා පිහිටි ඇතැම් පිරවුම්හල් තාවකාලිකව වසා දමා ඇති බවත් වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ රට පුරා ඉන්ධන බෙදා හැරීම අඩපණ වී ඇති බවය.