සෝමාලි පැහැරගැනීම: කාර්ය මණ්ඩලයේ අත්දැකීම්

පැහැර ගැනීමට ලක්ව නිදහස් කෙරුණු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිත නෞකාව සෝමාලියාවේ බෝසාසෝ වරායට ඇතුළු වූ බව එම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල පවසයි.

තමන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය බේරා ගනු ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් එහි පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර ඇති බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය හා විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

නිදහස් කෙරුණු නෞකාවේ ආරක්ෂාවට කොමාන්ඩෝ සාමාජිකයන් තිස් පස් දෙනෙකු සහ බෝට්ටු පහක් යොදවා ඇති බව කී ඔහු සෝමාලි ආණ්ඩුවේ මුහුදු මංකොල්ල මර්දන ඒකකය දින තුනක් සිය නැව වට කොට මංකොල්ලකරුවන්ට ප්‍රහාර එල්ල කළ බව ද සඳහන් කළේය.

සිය නිදහස වෙනුවෙන් කටයුතු කළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශ්වවලට ස්තුති කරන බව ඔහු කියා සිටියේය.

ඔලුවට තුවක්කුවක්

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මංකොල්ලකරුවන් විසින් දැඩි මානසික පීඩනයක් එල්ල කරනු ලැබුවත් කිසිදු ශාරීරික පීඩාවකට ලක් නොකෙරුණු බවය.

මංකොල්ලකරුවන් නැව වෙත ළඟාවන විට තමන් ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී ඒ බව ජාත්‍යන්තර ආයතන වෙත දැනුම් දුන් බව කී ඔහු තමන් නිරුපද්‍රිතව නිදහස් වීමට එය එක් හේතුවක් වූ බව සඳහන් කළේය.

"අන්තිම මොහොතේ ඒ අය උත්සාහ කළා අපිට වෙඩි තියලා වගේ යන්න. ඒත් වාසනාවකට ඒ දේ සිද්ධ වුනේ නැහැ. අපේ සියලු බඩු බාහිරාදිය අරන් ගියා. අපිට ආපදාවක් වුනේ නැහැ" යනුවෙන් ඔහු පැවසීය.

කාර්ය මණ්ඩලය සතුව තිබූ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක මංකොල්ලකරුවන් භාරයට ගනු ලැබූ බව කී ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල, එක් දුරකථන මාර්ගයක් පමණක් විවෘතව තැබීමට ඔවුන් කටයුතු කළ බව සඳහන් කළේය.

"නමුත් මේ දුරකථනය විසන්ධි කළේ නැහැ, මොකද ඒ අයට අවශ්‍ය වුනා ඒ හරහා අනෙක් බෝට්ටු අයින් කරන්න, ඒ වගේ දේවල්වලට පාවිච්චි කරන්න. ඒ වෙලාවේ ඒ අයට නොතේරෙන්න අපේ භාෂාවෙන් අපි ඇමතිවරු හා සම්බන්ධ වුනා. "

මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ඇති සෝමාලියානු ආණ්ඩුවේ විශේෂ හමුදා ඒකකය තමන් නිදහස් කර ගැනීම සඳහා සූක්ෂ්ම සහ දක්ෂ ලෙස යුද උපකරණ භාවිත කළ බවත් ඔහු කියා සිටියේය.

"මොකද අපි තෙල් පුරවපු නැවක්. හදිස්සියේ තෙල් ටැංකියකට ගැහුවා නම් මුළු නැවම ගිනි අරන් අපි විනාශ වෙන්න තිබුණා. ඒ තෙල් ටැංකි බේරලා අපටත් හානියක් නොවෙන විදිහට කටයුතු කරන්න ඔවුන් උත්සාහ කළා. මංකොල්ලකරුවන්ට වෙඩි තියලා ඔවුන්ගේ මානසිකත්වය වැට්ටුවා"

අවසාන මොහොතේ මුහුදු කොල්ලකරුවෝ තීරණය කළා ඒ අයට මේගොල්ලෝ එක්ක හැපෙන්න බැහැ, තව හිටියොත් මැරෙන්න වෙනවා කියලා හිතලා ඒ අය පැනලා ගියා" යනුවෙන් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල වැඩිදුරටත් කියා සිටියේය.