ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෝමාලි කොල්ලකරුවෝ නැව මුදා හරිති
සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සහිත ඉන්ධන නැව කොන්දේසි විරහිතව මුදා හැර ඇතැයි වාර්තා වේ.
කොල්ලකරුවෙකු උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පැවසුවේ, කප්පම් ගැනීමකින් තොරව නැව මුදා හැර ඇති බවය.
කොල්ලකරුවන් වෙත සැපයුම් රැගෙන බෝට්ටුවක් යාත්‍රා කළ අවස්ථාවේදී, කොල්ලකරුවන් හා නාවික බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදු විය.
මේ පිළිබඳව අදහස් පළ කළ සෝමාලියාවේ පුන්ට්ලන්ඩ් කලාපීය සමුද්‍රීය බලකායේ අධ්‍යක්ෂ ජනරාල් අබ්ඩිරහමන් මොහමුඩ් හසන් "වෙඩි හුවමාරුවෙන් පසුව සාකච්ඡා පැවැත්වුණා. අපි අපේ හමුදාව ආපසු ගෙන්වාගත් අතර කොල්ලකරුවන් පිටව ගියා" යැයි පැවසීය.
කෙසේවෙතත්, වසර ගණනක් සෝමාලියාවේ කොල්ලකරුවන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡාවල යෙදුණු හිටපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු වන ජෝන් ස්ටීඩ් AFP ප්‍රවෘත්ති සේවය වෙත පැවසුවේ, කොල්ලකරුවන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ දෙයක් ඔවුන් වෙත ඉදිරිපත් කෙරෙන්නට ඇති බවය.
බීබීසී වෙත වාර්තා වූ ආකාරයට ඊයේ (මාර්තු 16) ඇති වූ වෙඩි හුවමාරුවේදී සිවු දෙනෙකුට තුවාල සිදු වී තිබිණ.
ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකුගෙන් යුත් නැව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන විට ජිබුටි හි සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා යාත්‍රා කරමින් පැවතියේය.
වෙඩි හුවමාරුවක්
මෙය 2012 වසරෙන් පසු සෝමාලියානු මුහුදු තීරයේදී වාර්තා වූ පළමු නෞකා පැහැරගැනීම වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහණය කරමින් තිබූ අදාළ නැව කවර ධජයක් යටතේ යාත්‍රා කරමින් පැවතියේද යන්න පිළිබඳ පරස්පර වාර්තා පළ විය.
මුලින්ම වාර්තා වූයේ එය ශ්‍රී ලංකාවේ ධජය යටතේ යාත්‍රා කළ බවකි.
කප්පම් ගැනීමේ අභිලාෂය ඇතිව සෝමාලියානු මුහුදු තීරය තුළ සාමාන්‍යයෙන් මුහුදු කොල්ලකෑම් ක්‍රියාත්මක වුවද මෑත කාලීනව එහි අඩුවීමක් දක්නට ලැබිණ. ජාත්‍යන්තර හමුදා මුර සංචාර මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට ලැබුණු සහාය ඊට හේතු විය.
කප්පම්
කොල්ලකෑම් උත්සන්නව පැවති 2011 වසර සමයේදී පැහැරගැනීම් 237ක් වාර්තා වූ අතර වාර්ෂික මුහුදු කොල්ලකෑම්වල මූල්‍යමය වටිනාකම ඩොලර් බිලියන 8 (පවුම් බිලියන 7) දක්වා ඉහළ නැංවිණ.
රැකියා ජනනය කිරීමට, මුහුදු තීරයේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම නීති විරෝධී මසුන් මැරීම මර්දනයට ජාත්‍යන්තර සහාය නොලැබෙන්නේ නම් මුහුදු කොල්ලකෑම් යළි ඉස්මතු විය හැකි බවට 2015 දී සෝමාලියානු බලධාරීන් අනතුරු ඇඟවීය.
නීති විරෝධී ධීවර යාතා විසින් සිය ජීවනෝපාය බිඳ දැමනු ලැබීම හේතුවෙන් ඇතැම් සෝමාලි ධීවරයෝ මුහුදු කොල්ලකෑම්වලට නැඹුරු වී ඇති අතර වසර ගණනක ගැටුම්වලින් අනතුරුව ප්‍රදේශයේ වෙරළාරක්ෂක සේවයක් නොවන පසුබිම තුළ එය වඩා හොඳින් වර්ධනය වී ඇත.
නෞකාව පැහැරගනු ලැබූ කණ්ඩායමේ නායකයා බව පැවසෙන අබ්ඩිෂාකුර් මොහොමෙද් ඉසේ බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රදේශයේ වැඩිහිටියන් ගේ පෙළඹවීම මත ඉන්ධන නෞකාව නිදහස් කිරීමට තමන් කටයුතු කළ බවය.
"අපි නැවෙන් කිසිම කප්පම් මුදලක් ලබා ගත්තේ නැහැ. මට ස්ථීර වශයෙන් කියන්න පුළුවන් අඩුම තරමේ ඔවුන් වෙතින් ඩොලර් සීයක්වත් ලැබුණේ නැහැ. නැවේ හිමිකරුවන් සමග අපි සාකච්ඡා කළේවත් ඔවුන්ගෙන් කප්පම් මුදල් ඉල්ලුවෙවත් නැහැ"
"අපි ප්‍රදේශයේ වැඩිහිටියන් සමග කතා කළා, අපේ දුක්ගැනවිලි ඔවුන්ට කිව්වා. අපට කප්පම් ඕනි නැහැ, නමුත් මේ ප්‍රදේශයේ සිදු වන නීති විරෝධී මසුන් මැරීම සහ විෂ ද්‍රව්‍ය මුහුදට මුදා හරින නැව් ගැන ලෝකෙට කියන්න අවශ්‍ය බව අපි ඔවුන්ට කිව්වා" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.