ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරයාමේ අවදානමක්

H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුණු බවට සැකකෙරෙන රෝගීන් හාරසීයක් පමණ මේ වන විට උතුරු පළාතෙන් හමු වී ඇතැයි පළාතේ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය පී සත්‍යලිංගම් පවසයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම රෝහලේ දැනට නේවාසික රෝගීන් සංඛ්‍යාව 244 ක් බවත් ඉන් 80 දෙනකු ගර්භණී මවුවරුන් බවත් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

මෙම රෝගීන්ගේ රුධිර සාම්පල හා සෙම කොටස් කොළඹට යවා සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී නියත වශයෙන්ම 37 දෙනෙකුට H1N1 වෛරසය ශරීර ගත වී ඇතැයි සනාථ වී තිබෙන බවත් වෛද්‍ය පී සත්‍යලිංගම් පැවසීය.

කොළඹින් ලැබී තිබෙන වාර්තාවලට අනුව 65 දෙනෙකුට පමණ නියත වශයෙන්ම H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදී ඇති තිබෙන බව ප්‍රකාශ කළ වෛද්‍ය සත්‍යලිංගම්, උතුරු පළාතේ කිසිදු රෝහලකදී එම වෛරසය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් නොමැති බැවින් නිශ්චිත වශයෙන් රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීමට නොහැකි බවත් සඳහන් කළේය.

උතුරු ප්‍රදේශය පුරා මෙම රෝගය පැතිර යන බවට සැලවීමත් සමග දිනකට රෝගීන් 1200ක් පමණ රෝහල් වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙමින් සිටින බව පවසන ඔහු, එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝහල්වල ඉතා දුෂ්කර තත්ත්වයක් උද්ගතව ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.