ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යාත්‍රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ධීවර යාත්‍රා දෙකක් අද (මාර්තු 01) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ පැවසීය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා දෙක ධීවර පරීක්ෂකවරුන් මාර්ගයෙන් පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සදහන් කළේය.
යුද්ධය අවසන් වීමෙන් පසුව ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණීම වැඩි වී ඇති බව පැවසූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සතියේ සදුදා, බදාදා හා සෙනසුරාදා යන දිනවලදී එම තත්වය වැඩි වශයෙන් පවතින බව ද කියා සිටියේය.
උතුරු මුහුදු සීමාව වෙත අනවසරයෙන් පැමිණෙන ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලබන බව ද ලුතිනන් කමාන්ඩර් වලාකුළුගේ පැවසීය.
ඉන්දීය ධීවරයින් පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔවුන් අත්අඩංගුවට ගන්නා බව පවසන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, දැනට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා නිදහස් කරන ලෙස ඉන්දීය රජය ඉල්ලා සිටියද නීති මගින් මිස වෙනත් ආකාරයකින් ධීවරයින් හෝ යාත්‍රා නිදහස් නොකරන බව කියා සිටියේය.
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම වරදක් බව ඉන්දීය රජය අවසන් වරට පැවති සාකච්ඡාවලදී පිළිගත් බව ද මේ තත්ත්වය නවතා දැමීමට ගතහැකි පියවර රැසක් පිළිබදව දෙරටේම නායකයින් කරුණු සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
නමුත් උතුරේ ධීවරසමීති නායකයින් කියාසිටින්නේ ඉන්දීය ධීවරයින් තම මුහුදු සීමාවට පැමිණීමේ අඩුවීමක් දක්නට නොලැබෙන බවය.