ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කළුතර වෙඩි තැබීම: වෑන් රථය හමුවෙයි
කළුතරදී බන්ධනාගාර බස්රථයකට වෙඩිතැබූ පිරිස පලාගිය බවට සැකකෙරෙන වෑන් රථය සොයා ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ අත්සනින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව ඊයේ (27) කළුතර බන්ධනාගාරය අසළ දී පුද්ගලයන් සත් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන වෑන් රථය පානදුර මොරගහහේන ප්‍රදේශයේදී අත්හැරදමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
එය ඩොල්ෆින් වර්ගයට අයත් වෑන් රථයක් වන අතර ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බවද නිවේදනයේ සඳහන් වේ.
ඒ අතර බන්ධනාගාර බස් රථය පැමිණෙන පාර අවහිර කිරීම සඳහා යොදාගත් ඩබල් කැබ් රථය අවසන් වරට භාවිතා කර ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවද තොරතුරු විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
මෙම අපරාධය කඩුවෙල ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ඔහු සම්බන්ධ දකුණේ අපරාධ කල්ලි ප්‍රබලයෙකු එක්ව සැලසුම් කර ඇති බවට පොලීසිය සැක කරයි.
මෙම සන්නද්ධ ප්‍රහාරය පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන කටයුතු අරඹා ඇති බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.