ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රෙක්සිට්: බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අභියාචනය පරාදයි
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් විමසිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව පවසමින් පසුගියදා මහාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අටදෙනකු ප්‍රතික්ෂේප කළ අතර, විනිසුරුවන් තිදෙන් එය අනුමත කළහ.
යුරෝපා සංගමයෙන් ඉවත්වීම මගින් බ්‍රිතාන්‍ය නීතියේ ඇතැම් මූලාශ්‍ර ඉවත් කෙරෙන අතරම එමගින් බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ඇතැම් අයිතිවාසිකම්ද කප්පාදු කෙරෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එබැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව අධිකරණයේ නිගමණයයි.
කෙසේ නමුත් ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව හෝ වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ මන්ත්‍රණ සභාවල මතය විමසීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුව විය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගිය ජුනි මාසයේ බ්‍රිතාන්‍ය ඡන්දදායකයන් තීරණය කළ අතර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය ප්‍රතික්ෂේප කෙරෙනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
කෙසේ නමුත් මේ තීන්දුවත් සමග ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහ සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබෙන තුරු යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට අගමැතිනි තෙරේසා මේ ට අවස්ථාව නොලැබේ.