නියඟය නිසා 'විදුලි බල අර්බුදයක්'

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින නියං කාලගුණ තත්වය හේතුවෙන් විදුලි බල අර්බුදයක් මතු වී ඇති බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

විදුලි බල උත්පාදනය සඳහා භාවිත කරන ජලාශවල ජල මට්ටම 35% කට වඩා පහත වැටී ඇති බව සඳහන් කළ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා, සාමාන්‍යයෙන් මේ කාලය වන විට ජලාශ 90% - 95% ක් පමණ පිරී තිබෙන බව බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ වෙතත් විදුලිය කප්පාදු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, තාප බලාගාර යොදාගෙන මෙම තත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

මෙය ඉතාම දුෂ්කර අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ඔහු, මෙම දුෂ්කර අවස්ථාවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කර සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

"තාමත් අපිට විදුලිය කපන්න බලාපොරොත්තුවක් නැහැ. අපි උත්සාහ කරන්නේ නොකපා කළමනාකරණය කරගන්න, දුෂ්කර තත්වයක් තිබුනොත් අපි ඒ ගැන කියන්නම්, නොකියා විදුලිය කපන්නේ නැහැ," නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය.