මහින්දට ආණ්ඩුව පෙරලන්න බැහැ - රනිල්

අවසානයේ දී ආණ්ඩුවත් මේ විධියටම තියේවි, එයත් මහින්ද රාජපක්ෂ වගේම ඉඳීවි -රනිල්
ඡායාරූප ශීර්ෂ වැකිය, අවසානයේ දී ආණ්ඩුවත් මේ විධියටම තියේවි, එයත් මහින්ද රාජපක්ෂ වගේම ඉඳීවි -රනිල්

තමා සතියක කාලයක් සඳහා විදේශගත වන අතර එම කාලය ඇතුළත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුව පෙරළා දැමීමට අවස්ථාවක් ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ 2017 වසර ඇතුළත ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් පසුගිය දා කරන ප්‍රකාශයට ප්‍රතිචාරය පළකරමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2017 වසර ආරම්භයේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක දී බීබීසීය විමසීමක් කළවිට සිනාමුසුව ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ 'තමා සුමානයකට ස්විස්ටර්ලන්තයට යන අතර එම කාලය ඇතුළත හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ අභිප්‍රාය ඉටුකරගත හැකි' බවයි කියාසිටියේ.

'මම සතියක කාලයකට ස්විස්ටර්ලන්තයට යනවා.ඒ කාලය තුළ මම මහින්දට අවස්ථාවක් දෙනවා ආණ්ඩුව පෙරළන්න' අගමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, සිය ආණ්ඩුව පෙරළීමට නොහැකි බව අඟවා සිටියේ 'අවසානයේ දී ආණ්ඩුවත් මේ විධියටම තියේවි, එයත් මහින්ද රාජපක්ෂ වගේම ඉඳීවි' යනුවෙන් පවසමිනි.

ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල 2017 වසරේ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් කළ අගමැතිවරයා, තමා ඉදිරි දිනවල කර්මාන්තශාලා කීපයක් ආරම්භ කෙරෙන උත්සව වලට සහභාගි වීමට නියමිතව ඇති බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කරනු ලැබ ඇති නිවේදන අනුව අගමැති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට හා ගිරිඋල්ලේ ඇඟලුම් කර්මාන්තශාලාවක් විවෘතකිරීමේ උත්සවයකට සහභාගීවීමට නියමිතයි.