'පොහොර ලැබෙන්නේ අස්වැන්න කපනකොට'

'රජයේ පොහොර සහනාධාරය ප්‍රමාදයි'

මෙවර මාස්කන්නය ආරම්භ වී මාසයකට වඩා ගත වී ඇතත් තමන්ගේ කුඹුරු වගා කිරීමට රජයේ පොහොර සහනාධාරය ලැබී නැතැයි උතුරේ ගොවි සංවිධාන පවසයි.

ගොවි සංවිධාන නියෝජිතයෝ මේ බව කියා සිටියේ පොහොර සහනාධාරයට හිමි මුදල් ලැබී ඇත්දැයි දැන ගැනීම සඳහා සිය ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ දී සංදේශය සමග කළ කතාබහක දී.

මාස්කන්නයට නියමිත පරිදි ගොවියෝ කුඹුරුවල සී සෑමේ කටයුතු අවසන් කොට පොහොර හෝ මුදල් ලැබෙන තුරු බලා සිටියත් ගොයමට සති දෙකක්, මාසයක් යනතුරුත් පොහොර හෝ මුදල් නොලැබුණු බවට උතුරේ ගොවීහු චෝදනා කරති.

'රජයේ පොහොර සහනාධාරය ප්‍රමාදයි'

සෑම වර්ෂයකම තමන්ට නියමිත වේලාවට පොහොර නොලැබෙන බව කියා සිටි ගොවීහු මේ කන්නයේදී රජයේ නව වැඩ පිළිවෙළක් ලෙස පොහොර වෙනුවට මුදල් ලබාදෙන බව ප්‍රකාශ වුවද මෙතෙක් මුදල් නොලැබුණු බව කියා සිටියහ.

පොහොර වෙනුවට මුදල්

තමන් බාරදුන් පොහොර ඉල්ලුම්පත් තවමත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇති බව කී ගොවීහු තමන්ට පොහොර හෝ පොහොර වෙනුවට මුදල් ලැබීම සිදුවන්නේ ගොයමේ අස්වැන්න නෙලන කාලයට බවද කියා සිටියහ.

මෙවර පොහොර නොමැතිව ගොවිතැන් කළ නිසා සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවද උතුරේ ගොවීහු වැඩිදුරටත් පැවසූහ.

'රජයේ පොහොර සහනාධාරය ප්‍රමාදයි'

ගොවීන් ඉදිරිපත් කරන චෝදනා පිළිබඳ ජාතික පොහොර බෙදාහැරීමේ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ බන්දුල විජේවර්ධනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ නොවැම්බර් මස 30 වෙනිදාට පෙර ගොවීන්ට පොහොර වෙනුවෙන් රජය මගින් මුදල් ලබාදීමට පියවර ගන්නා බවය.

මෙවර ගොවීන් සිය ඉල්ලුම්පත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට භාරදීමේ දී යම් ප්‍රමාදයක් සිදු වූ බව කී සහකාර අධ්‍යක්ෂ බන්දුල විජේවර්ධන මේ දිනවල ඉල්ලුම්පත් වර්ගීකරණය හා බැංකුවලට මුදල් යැවීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කරමින් සිටින බවද පැවසීය.

කෙසේ වෙතත් උතුරේ ගොවීන් පවසන්නේ තමන්ගේ ඉල්ලුම්පත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බාරදෙන ලද්දේ මීට මාස තුනකට ඉහතදී බවය.