ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''ආවා ගෲප්'': මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
''ආවා ගෲප්'' සාමාජිකයන් බවට චෝදනා කරමින් පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් තරුණයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නීති විරෝධී ලෙස යැයි පවසන ඔවුන්ගේ ඥාතීන් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කොට තිබේ.
සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම පිරිස කියා සිටියේ ''ආවා ගෲප් ''සාමාජිකයන් යනු මංකොල්ල කල්ලියක් ලෙස ආරක්ෂක ප්‍රධානීන් විසින් හඳුන්වා ලැබ තිබියදී තම ඥාතීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන පොලිස් මූලස්ථානය වෙත රැගෙන ගොස් රඳවාගෙන ප්‍රශ්න කිරීම නීති විරෝධී බවය.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරි තංගවේල් කනකරාජ් බීබීසී සිංහල සේවයට කියා සිටියේ සිය ආයතනය වෙත ලැබී ඇති පැමිණිලි එකොළහක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කොට ඇති බවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී හා රඳවාගැනීමේදී මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කොට ඇති නිර්නායකයන්ට අනුව පොලිස් නිලධාරීන් ක්‍රියා කොට ඇත්දැයි යන්න සොයා බලන බවත් තංගවේල් කනකරාජ් වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් රඳවා ගනු ලැබ සිටින සැකකරුවන් එකොළොස් දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ ඥාතීන්ට දැනුම්දීමක් හෝ ලදුපත් නිකුත් කිරීමක් සිදු කොට නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියා පැවසීය.
යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබූ එම පිරිස කොළඹට රැගෙන ගොස් ඇති බැවින් යාපනය කාර්යාලයේ නිලධාරීන්ට ඊට සෘජුව මැදිහත් වීමට ඇති ඉඩකඩ අවම වී ඇති බවත් කොළඹ නිලධාරීන් හා එක්ව දැඩි සම්බන්ධීකරණයක් යටතේ පරීක්ෂණ කටයුතු කරගෙන යාමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.