ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යතුරුපැදි කල්ලි, හමුදා බුද්ධි අංශ සම්බන්ධ ද? : ඇමතිවරයා ප්‍රශ්නය මගහරී
උතුරු ප්‍රදේශයේ පසුගිය කාලයේ වාර්තාවූ අපරාධවලට වගකිවයුතු බව පැවසෙන යතුරු පැදි කල්ලි සහ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් අතර සබඳතාවක් ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අද (ඔක්.26) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් මගහරිනු ලැබීය.
අමාත්‍යවරයා ඉවත්ව යන විට, "ඔබගේ පිළිතුර 'ඔව්' ද? එසේ නැතිනම් 'නැත' යන්න ද? " යැයි මාධ්‍යවේදීන් යළි විමසූ විට අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ, "මා කිසිවක් කීවේ නැහැ." යනුවෙනි.
යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට පොලිසිය වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව, පොලිස් නිලධාරීන්ට පහරදීමේ වගකීම භාරගනිමින් 'ආවා' නමැති සංවිධානයක් ඊයේ යාපනයේදී පත්‍රිකා බෙදාහැර තිබිණ.
'ආවා'
ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ, 'ආවා' නමැති යතුරු කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය රාත්‍රී කාලයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතරේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට වෙඩි තැබීම සිදුවී ඇති බවය.
එම යතුරු පැදි කල්ලි හා හමුදා බුද්ධි අංශ සාමාජිකයින් අතර සම්බන්ධයක් ඇතැයි යාපනයේ ජනතාව නගන චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසුව ද අමාත්‍යවරයා ඊට පිළිතුරු නොදී පිටවිය.
කෙසේවුවද, එම මාධ්‍ය හමුව ආරම්භ කරමින් සාගල රත්නායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මකවන බවය.
සිදුවීමට සම්බන්ධ දෙපාර්ශ්වයට ම සවන් දීමේ වැදගත්කම ද අවධාරණය කළ අමාත්‍යවරයා, ඇතැම් පිරිස් මෙවැනි සිදුවීම් උපයෝගී කරගනිමින් ජාතීන් අතර ගැටලු ඇතිකිරීමට උත්සාහ කළ හැකි බව ද පෙන්වා දුණි.