උතුරේ හර්තාලයෙන් ජන ජීවිතයට බාධා

උතුරු පළාතේ අද (ඔක්. 25) ක්‍රියාත්මක වූ හර්තාලය හේතුවෙන් එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය.

දෙමළ ජාතික සන්ධානය විසින් එම හර්තාලය දියත් කරනු ලැබුවේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යාමට පොලිස් වෙඩි තැබීමක් හේතුවී යැයි කියන සිද්ධියට විරෝධය පළකරමිනි.

වවුනියාව, මන්නාරම, යාපනය, කිළිනොච්චිය හා මුලතිව් යන ප්‍රදේශවල වෙළෙඳසල් වසා දැමුණු අතර බොහෝ තැන්වල කළු කොඩි ඔසවා තිබිණ.

ගමනාගමනය අඩාල වූ අතර පිට පළාත්වල සිට උතුරු ප්‍රදේශයට ක්‍රියාත්මක කෙරෙුණු බස්රථ හා දුම්රිය පමණක් ධාවනය විය.

පෙරවරුවේදී වවුනියාව හා සෙට්ටිකුලම යන ප්‍රදේශවලදී ලංගම බස්රථ දෙකකට කිසියම් පිරිසක් ගල් පහර එල්ලකිරීම හා කිළිනොච්චියට ආසන්නයේදී මාර්ග අවහිර කිරීම හේතුවෙන් දහවල් කාලය වනවිට බොහෝ මාර්ගවල ගමනාගමනය අඩාල විය.

හර්තාලය පිළිබඳ නොදැන විවිධ කටයුතු සඳහා උතුරු පළාතට පැමිණි බොහෝ දෙනෙක් ආපසු යා නොහැකිව අතරමංව සිටියහ.

එම පිරිස් කියා සිටියේ, විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මිය යාමට අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මකවන අතරේදී මෙවැන්නක් සංවිධානයකර ජනතාව පීඩාවට පත්කිරීම දැඩි අසාධාරණ බවය.

දේශපාලන බලය පෙන්වීමට හා දේශපාලන වාසි වෙනුවෙන් පොදු ජනතාව පීඩාවට පත්කිරීම ඔවුහු දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ.

උතුරු පළාතේ රජයේ කාර්යාල ක්‍රියාත්මක වුව ද ගමනාගමන අපහසුතා හේතුවෙන් කාර්ය මණ්ඩලවල පැමිණීම පහළ ගොස් තිබිණ.

දෙමළ හා මුස්ලිම් පාසල් සියල්ල වසා දැමෙද්දි සිංහල පාසල් විවෘතව පැවතිය ද ප්‍රවාහන පහසුකම් නොවීම හේතුවෙන් සිසුන්ට යළි නිවෙස් වෙත යා හැකිවන පරිදි එම පාසල්වල අධ්‍යාපන කටයුතු කළින් අවසන් කෙරිණ.