ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ යුද්ධය ලන්ඩන් වේදිකාවට කැඳවන 'The Island Nation'
මේ ලන්ඩනයේ රඟහලක්.
ඉංග්‍රීසි භාෂාවෙන් රඟ දෙන නාටකයක්.
රඟහල ආකෝලා නම් වේ. එය පිහිටා තිබෙන්නේ නැගෙනහිර ලන්ඩනයේ. 'වෙස්ට් එන්ඩ්' නමින් කලාලෝලීන් බොහෝ දෙනා හඳුනන ලන්ඩන් නගර මධ්‍යයේ පිහිටි රඟහල් ජාලයට මඳක් ඈතින් සාපේක්ෂව එතරම් වත්කමක් නැති ජනතාව වෙසෙන හැක්නි ප්‍රදේශයයි, මේ.
මෙහි රඟදෙන්නේ බ්‍රිතාන්‍යය, යුරෝපය හෝ බටහිර රටකට අදාළ වෘතාන්තයක් නොවේ.
"The Island Nation" නාට්‍යයේ තේමාව ශ්‍රී ලංකාව.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එල්ටීටීඊ යේ හිටපු න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, නෝර්වීජියානු හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම්, හිටපු එල්ටීටීඊ නායකයකුවන කුමාරන් පද්මනාදන් සහ යුද්ධය මෙහෙය වූ හමුදා නායකයන් එහි නිරූපණය කෙරෙන ප්‍රධාන චරිත.
නාට්‍යයේ කතා වස්තුව ගොඩනැගෙන්නේ සිවිල් යුද්ධයේ අවසාන සති කිහිපයේදී යුද්ධයට මැදිව අනේක වේදනා විඳ දිවි බේරාගන්නා තරුණියක සහ සිවිල් වැසියන්ගේ ජීවිත බේරාගැනීමට ප්‍රබල උත්සාහයක යෙදෙන බ්‍රිතාන්‍ය ජාතික සහන සේවිකාවක අතර වර්ධනයවන මිතුදම හරහායි.
එහෙත් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වී වසර 7 කට පසුව බ්‍රිතාන්‍යයේදී මෙවැනි නාට්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද?
"ඒක ඉවර නෑනේ? 2009 ඒ සිද්දවුන දේවල ප්‍රතිඵල අදත් මිනිස්සු විඳවනවා," ඒ පිළිතුර ලැබුනේ නාට්‍යය රචනා කළ ක්‍රිස්ටීන් බේකන් (Christine Bacon) ගෙන්.
"ලන්ඩනයේ ඒක තවමත් දැනෙනවා. තවමත් බොහෝ දෙනා දේශපාලන රැකවරණ ලබන්න බ්‍රිතාන්‍යයට එනවා. ඒගොල්ලන්ට දේශපාලන රැකවරණ ලබන්න ඉතාම දුෂ්කරයි," මානව හිමිකම් සම්බන්ධ පුවත් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද Ice&Fire සංවිධානයේ කලා අධ්‍යක්ෂවරියද වන ක්‍රිස්ටීන් බේකන් සඳහන් කළාය.
"ඒ වගේම, ශ්‍රී ලංකාව කියන්නේ ලස්සන රටක්, ලස්සන වෙරල, මධුසමය ගත කරන්න හොඳ රටක් කියල හිතන බ්‍රිතාන්‍ය ජාතිකයන් විශාල පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ මෙතරම් දරුණු ඛේදවාචකයක් වුනා කියල ඒ හුඟක් දෙනාගේ අවධානයට යොමු වෙන්නේ නෑ," යැයි ද ඇය පැවසුවාය.
රියා පැරි (Ria Parry) නාට්‍යයේ අධ්‍යක්ෂවරියයි.
මාධ්‍යවේදීන් වෙනුවෙන් "The Island Nation" විවෘත වූ දිනයේ සැබවින්ම ශාලාව පිරී ඉතිරී තිබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන්. ශ්‍රී ලාංකිකයන් එහි දක්නට ලැබුණේ ඉතා සුළු පිරිසක්.
කුමන අර්ථයෙන් සැළකුව ද යුද්ධය ඛේදවාචකයක් බව ප්‍රත්‍යක්ෂය. ඒ අනුව, එහි 'මානුෂික මුහුණුවරක්' පැවතිය හැකි ද යන්න ප්‍රශ්නයක්. ඒ කවරක් වුවත් ඉතිහාසයේ සැබෑ සිදුවීමක් අරභයා කෙරුණු නිර්මාණයකට ඒකපාක්ෂික විය හැකිද යන්නත් ඒ හා සමානම ගැටලුවක්.
ඒ ප්‍රශ්නයට කොළඹ හිටපු බීබීසී වාර්තාකරු චාල්ස් හැවිලන්ඩ්ගේ පිළිතුර වූයේ,"එය ඉතා උපායශීලී ලෙසින් සහ විචක්ෂණශීලී ලෙසින් ඉතාමත්ම සංකීර්ණ කතා පුවතක් කෙටි කාලයක් තුල ඉදිරිපත් කරනවා," යන්නයි.
සත්‍ය තොරතුරු සහ ඇසින් දුටු සාක්ෂි ඇසුරින් යුද්ධයේ අවසාන මාස කිහිපය තුල සිදු වූ 'භීෂණය' පිළිබඳව සැබෑ චිත්‍රය එමගින් එළිදැක්වෙන බව පවසන චාල්ස් හැවිලන්ඩ්, එහිදී යුද්ධයට සම්බන්ධ දෙපාර්ශවයම හෙලා දැකීමට 'The Island Nation' පසුබට වී නැති බව වැඩිදුරටත් පවසයි.
මෑතදී බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ ඉන්ෆෝම් මානව හිමිකම් සංවිධානයේ රුකී ප්‍රනාන්දු ලන්ඩනයේදී නාට්‍යය නැරඹු ශ්‍රී ලාංකිකයෙක්.
ශ්‍රී ලංකාවේ අවසාන භාගය පිළිබඳව සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන් නාට්‍යයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ කලාකරුවන් උත්සුක නොවූයේ මන්දැයි යන්න ගැටලුවක් බවයි, රුකී ප්‍රනාන්දු පවසන්නේ.
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ද 'The Island Nation' වැනි නිර්මාණවලට යොමුවන්නේ නම් එය පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවට රුකුලක් වනු ඇති බව පවසන ඔහු, එවැන්නකට ලාංකීය කලාකරුවන් තවමත් බියක් දක්වන්නේද නොඑසේනම් එයට දේශපාලන හේතුන් බලපා තිබෙන්නේදැයි යන්න තමන් නොදන්නා බවද පැවසීය.
විශේෂයෙන්ම යුද්ධයේ අවසාන භාගයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය පිළිබඳ දැඩි විවේචනයක් කිරීමට 'The Island Nation' සමත් වී ඇති බව පෙන්වා දෙන රුකී ප්‍රනාන්දු, සංහිඳියාව වෙනුවෙන් සැබෑ කැපවීමක් තිබෙන්නේ නම් මෙවැනි නාට්‍ය නිර්මාණ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සුක විය යුතු බවත් වැඩිදුරටත් පැවසීය.
සැබවින්ම ජාත්‍යන්තර ප්‍රජාවද ඇතුළු යුද්ධයට සම්බන්ධ පාර්ශවයන් සියල්ල දැඩි විවේචනයකට ලක් කරන 'The Island Nation' නිර්මාණයට රංගනයෙන් දායක වන සියලු කලාකරුවන් නරඹන්නන්ගේ ඇසට කඳුලක් එක්කරමින් යුද්ධයේ ආදීනව පිළිබඳව පසු විපරමක යෙදෙන්නට අප සියලු දෙනාට විවෘත ඇරයුමක් කරන බව මෙහි සටහන් කළ යුතුයි.