ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මන්නාරම ධීවරයෝ දියඹ වරා වීදි බසිති
මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවරයෝ අද (නොවැ.08) මුහුදු යාමෙන් වැළකී මන්නාරම නගරයේදී විරෝධතාවක යෙදුණහ.
මුසලි ප්‍රදේශයේ සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමේ මූලික වැඩපිළිවෙල ක්‍රියාත්මකවන්නේ යැයි පවසමින් ඊට විරෝධය පෑම එහි අරමුණ විය.
සිංහල ධීවර පවුල් 180ක් මන්නාරමට ගෙනැවිත් මුසලි ප්‍රදේශයේ පදිංචිකරවීමේ මූලික පියවරක් වශයෙන් අද ඉඩම් මැණීමට නියමිතව තිබූ බව පවසන ධීවරයෝ අතීතයේ කිසි දිනෙක මන්නාරමේ ධීවර ජනාවාස නොතිබූ බව පැවසූහ.
යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට රජයෙන් මෙතෙක් සහන සලසා නොමැති තත්ත්වයක් තුළ නව සිංහල ධීවර ජනාවාසයකට අධික වියදම් දැරීමට රජය සූදානම්වීම දැඩි අසාධාරණයක් බව ද මන්නාරමේ ධීවර සමිති නායකයෝ පෙන්වා දෙති.
ඇමති ප්‍රතිචාර
ධීවරයින්ගේ මෙම විරෝධය මත ඉඩම් මැණීමේ කටයුතු තාවකාලිකව නතරකොට දැමීමට බලධාරීන්ට සිදුවී ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ සිය අමාත්‍යාංශය මට්ටමින් එවැනි ධීවර ගම්මානයක් පිහිටුවීමේ තීරණයක් ගෙන නැති බවය.
එවැන්නක් අදාළ ප්‍රදේශය තුළ සිදුවන බවට එහි ධීවරයින් මීට පෙර දැනුම් දී නැති බව කී අමාත්‍යවරයා සිංහල ධීවරයින් නොසිටි ස්ථානයක එසේ පදිංචිකර අනවශ්‍ය ගැටලු ඇතිකිරීමේ අවශ්‍යතාවක් නැති බව ද පෙන්වා දුන්නේය.