ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සැඟවී සිටින බලවේග ගැන රණවිරුවන් දැනුවත් නැහැ - ජනපති
තමන් මෙහෙයවනු ලබන්නේ කුමන බලවේගයක් විසින් දැයි යන්න 'අසරණ රණවිරුවන්' නොදන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
විශ්‍රාමික සේවා වැටුප ලබා දෙන බව දන්වා තිබියදීත් ආබාධිත සෙබළුන් උද්ඝෝෂණයේ යෙදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල අමතමිනි.
"මේ ව්‍යාපාර පිටුපස වෙනම මෙහෙයවීම් තිබෙනවා. ඒවා දේශපාලන මෙහෙයවීම්. මේ අසරණ රණවිරුවෝ දන්නේ නැහැ ඒ අය මෙහෙයවුවේ කවුද කියලා. ඇතැම්විට ඒ අයගෙන් එක් අයෙක් පමණක් දන්නවා ඇති මෙහෙයවුවේ කවුද කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊයේ (නොවැම්බර් 07) ආබාධිත සෙබළුන් පිරිස ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඔවුන් හමු වී කරුණු අවබෝධ කර දුන් බව පැවැසූ ජනාධිපතිවරයා "දැන් ඒ සියල්ල හරි කීවට පස්සෙත්, ඒ ගිය අයෙක් දුරකතනයෙන් කණ්ඩායමකට කතා කරලා පණිවුඩය දුන්නා" යනුවෙන් කියා සිටියේය.
"ඒ දුරකතන පණිවුඩය එක්ක තමයි පාරට බැහැලා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න ඒ පිරිස පැමිණියේ. මේ පිටුපස ඉන්න පිරිස මේ වැඩපිළිවෙළට එනකොටත් තීන්දු කරලා ඉවරයි මෙවැනි දෙයක් කරන්න ඕනි කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය.
'දේශපාලන හස්තයක්'
ආබාධිත සෙබළුන් විසින් වසර අටක් පුරා කරන ලද ඉල්ලීම් මීට මාස හතරකට පෙර තමා වෙත යොමු වූ බව කියා සිටි ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය හා සාකච්ඡා කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව තීන්දුවකට පැමිණි බව පැවසීය.
"අපි මේ ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කළේ මීට මාස හතරකට කලින්. ඒ ආයතනවලට සහ සංවිධානවලට ඒ බව දැන්වුවා,. පෙළපාලි ගිහින් කොටුවේ වාඩි වුනාමත් අපි ඒ බව ඔවුන්ට දැන්වූවා,"
උද්ඝෝෂණයේ යෙදුණු ආබාධිත සෙබළුන් පිරිසක් සහ භික්ෂු සංවිධාන කිහිපයක් ඊයේ උදෑසන ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීමේදි උණුසුම් තත්ත්වයක් හට ගත් අතර එය පාලනය කරගැනීම සඳහා පොලිසිය කඳුළු වායු හා ජල ප්‍රහාර ද එල්ල කළ කළේය.
මේ අතර ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක නියෝග කොට ඇති බව එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.