ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහ මඟට වැටුණු දෙමව්පියන් සමාජසේවා භාරයට - එස්බී
භාරකරුවන් නොමැතිව මහ මඟ දමා යන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැඩිහිටි නිවාස භාරයට පත් කළ යුතු බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාස භාරයට පත්වීමෙන් අනතුරුව මියයන වැඩිහිටියන්ගේ දේපොළවලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටලු රාශියක් ඇතිවී තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති පළාත් සමාජසේවා ඇමතිවරුන්ගේ සමුළුවකදී.
එසේ මිය යන වැඩිහිටියන්ට අයත්ව කිසියම් දේපොළක් පවතී නම් එම දේපොළ රාජසන්තක කළ හැකි වනසේ නීති, රීති සකස් කළ යුතු බවත් අමාත්‍ය එස්බී දිසානායක යෝජනා කරයි.
භාරකරුවන් නොමැතිව මහ මඟ දමා ගොස් සිටියදී හමුවන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව හරහා වැඩිහිටි නිවාස යටතට පත් කළ පසුවත් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවන ඥාතීන්, එවැනි වැඩිහිටියන් මියගිය පසු ඔවුන්ට හිමි දේපොළවලට අයිතිවාසිකම් කීමේ ප්‍රවණතාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බව සමුළුවට සහභාගී වූ බස්නාහිර පළාත් සමාජසේවා නිලධාරීහු පවසති.
මහ මඟ තනිකර යන එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප හා විස්තර ප්‍රසිද්ධ කොට සමීප ඥාතීන් පිළිබඳව මූලික සොයා බැලීමක් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍ය එස්බී දිසානායක එසේ ඉදිරිපත් නොවන ඥාතීන් හට පසුව දේපොළවලට හිමිකම් කිව නොහැකි වනසේ නීති රීති සකස් කළ යුතු බව කියා සිටියේය.